gossip lanka

වල්ඌරු ඝාතනයට අවසර දීම සංඝයා හෙළා දකියි

වල් ඌරන් ඝාතනය කිරීමටත් මස් ප‍්‍රවාහනය හා විකිණීමට නීතිමය අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා කර ඇති යෝජනාව වහාම නතර කරන ලෙස වන සතුන්ගේ ජිවිත සුරැකීමේ සංවිධානයේ සභාපති පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ද්වීතීය අධිකරණ සංඝනායක පොළොන්නරුව සාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති සමස්ත ලංකා සාම විනිසුරු ශ‍්‍රී ශාඛීය බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු මහා
සංඝයා වහන්සේලා ජනාධිපතිගෙන් ඉල්ලා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ උපතිස්ස නාහිමිපාණන් වහන්සේ,

"දැනට වගා බිමට පැමිණෙන වල් ඌරන් ඝාතනය කිරීම නීතිමය අවසර ලබා දී ඇතත් ප‍්‍රවාහනය හා අලෙවිය සඳහා නීතිමය අවසර ලබා දී නෑ. එහෙම තිබියදීත් මේ පොළොන්නරුවේ පමණක් දිනපතා උද්‍යානවල සිටින සතුන් දඩයක්කරුවන් විසින් ඝාතනය කරනවා. එහෙම එකේ අවසර දුන්නොත් ඌරෝ විතරක් නෙවේ අනාගතේ දරුවෙකුට පෙන්වීමටවත් සතෙකු ඉතුරු කරන්නේ නෑ. නමුත් ලංකාව තුළ මුළු වල් ඌරු සංඛ්‍යාව ලක්ෂ දෙකක් නැති තරම්. එවැනි කුඩා සංඛ්‍යාවක් විනාශ කිරීමට නීති සැකසීම අතීසාරයට අමුඩ ගහනවා වාගේ වැඩක්.

අපේ රටේ කෝටි ගාණක් ඉන්න ජනතාව බෝවීම පාලනය කරන්න කියලා ,පුංචි පවුල රත්ත‍්‍රරං කියලා දරුවෝ දෙන්නෙකුට සීමා කළා. ඒ වාගේම බැරිද මේ සතුන්ටත් පුංචි පවුල රත්ත‍්‍රාරං කරන්න. මේ මිහිතලයේ ජීවය ලබන කිසිම සත්ත්වයෙකු ඝාතනය කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. වල් ඌරන්ට වඩා වගා හානි කරන්නේ රිලව්, වදුරෝ, අලිත් වගා හානි කරනවානේ. එතකොට වගා හානි කරන සියලු සතුන් ඝාතනය කරන්න නීති හදනවාද? ඒවාගේ ම තමයි මේ සත්තු ඇයි මේ ගම්මානවලට එන්නේ වනාන්තරවල වන සතුන්ගේ පැවැත්මට පවතින සියලු දේ මිනිස්සු විනාශ කර දමලා. ඒ නිසා තමයි වන සතුන් ගම්මානවලට එන්නේ ආහාර හොයාගෙන.

ජාතික උද්‍යාන කියලා දෙයක් තියෙනවා. ඒවා නමට විතරයි. පාලනය කරන්නේ වනජීවි දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ අය කරන්නේ ජාතික උද්‍යානවල ඉන්න සත්තු ටික දේශීය සහ විදේශීය මිනිස්සුන්ට පෙන්නලා සල්ලි ගන්න එක. දිනකට කෝටි ගනනින් ආදායම් ලබනවා . හැබැයි එහෙම සල්ලි හොයන්නේ වනාන්තරවල ඉන්න සත්තු පෙන්නලා. ඒ වුණාට රුපියලක් වියදම් කරලා ඒ සත්තුනට කන්න එක වට්ටක්කා ගෙඩියක් දෙන්නේ නෑ. මේවා පාලනය කරන මැතිඇමැතිවරු සහ නිලධාරින් අඩුම ගානේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවළු ටික දිනපතා ගෙනත් මේ උද්‍යානවල ඉන්න සතුන්ට ගෙනත් දාන්න වැඩ වැඩපිළිවෙලක් කරන්න මේ අයට බෑ.

හැබැයි හවස දෙක වෙනකොට මේ සත්තු බලන්න යන්න ටිකටි නිකුත් කරන එක දිනපතා කරනවා. මෙි රටෙි පාලකයෝ ඇතුළු බලධාරීන් සහ නිලධාරීන් එදා සිට කරපු එකම දේ තමයි වනානතර විනාශය. සංවර්ධනයට කියලා සත්තු ටික මරණවා. ඒ නිසා තමයි ස්වභාවධර්මයා විසින් සුනාමි ගංවතුර සුලිසුළං ඇතුඑ දෙවල් ඇති කරන්නේ. කොහොම නමුත් වල් ඌරන් ඝාතනය කිරීමටත් මස් ප‍්‍රවාහනය හා විකිණීමට නීතිමය අවසර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ගෙන ඇති තීරණය වහාම ඉවත් නොගත්තොත් සත්ත්ව හිංසාවට විරුද්ධව රට පුරා පමණක් නොව ලෝකය පුරා උද්ඝෝෂණ සහ විරෝධතා දියත්කර එම සතුන්ගේ ජිවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමට අපි සුදානම් වෙනවා යැයි නාහිමියෝ වැඩිදුරටත් කීය.


 සටහන සහ ඡායා - ඩබ්. ඒ. පියතිලක (හිඟුරක්ගොඩ)

gossip lanka