gossip lanka

කිසිම තුවාලයක් නැති දොස්තර බන්ධනාගාර රෝහලට යවන්න

පිලියාන වික‍්‍රමරත්න මාවත අසළදී පොලිස් පරික්‍ෂකවරයකුට මරු කැඳවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 30 වැනිදා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

 මෙලෙස තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිළියන්දල පදිංචි නිලානි කාවින්ද්‍යා
ගුණවර්ධන (39) නමැති වෛද්‍යවරියයි.

 පසුගිය 30 වැනිදා අලුයම මෙම වෛද්‍යවරිය අපරික්‍ෂාකාරී අන්දමින් පැද වූ සුඛෝපභෝගී රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් එහි ගමන්ගත් පොලිස්‌ පරීක්‍ෂක අජන්ත ගාමිණී මහතා (51) මියගොස්‌ ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා බරපතළ තුවාල ලැබූහ.

 සැකකාර වෛද්‍යවරිය ඊයේ ද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. රෝගී තත්ත්වය හේතුවෙන් ඇය තවමත් කළුබෝවිල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.

 මියගිය පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ මව වන කුසුමාවතී පෙරේරා මහත්මිය ඇතුළු ඥතීන් අධිකරණයට පැමිණ සිsටිනු දැක ගත හැකි විය.

 මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නුගේගොඩ දිස්‌ත්‍රික්‌  භාර පොලිස්‌ අධිකාරි සමන් සිගේරා මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මෙසේ කීය. ස්‌වාමීනි මේ සිද්ධියේ විමර්ශන තවමත් අවසන් නැහැ. මේ බීමත් වෛද්‍යවරියගේ නොසැලකිල්ලෙන් කුඩා දරුවෙක්‌ තවමත් බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරියට ඇල්කොලයිසරය දුන්නාම බීමත්ව සිටි බවට තහවුරු වුණා. මේ සිද්ධියට අදාළව වෛද්‍යවරුන් කරන ප්‍රකාශවලට අභියෝග කරන්න බැහැ. නමුත් මෙම වෛද්‍යවරිය ගල්කිස්‌ස හෝටලයේ රැඳී සිටිමින් මත්පැන් පානය කරන සීසීටීවී දර්ශන අපි සතුව තිබෙනවා.

 අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමේධ මහවන්නිආරච්චි මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මෙසේ කීය. "පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ බිරිඳගේ මොළයේ තැළීම් හේතුවෙන් ඇයට සිහි කලපනාවක්‌ නැහැ. තුවාල ලබා සිටින වැඩිමල් පුතා දක්‍ෂ පිහිනුම් ශූරයෙක්‌. මේ අනතුරින් බරපතළ තුවාල සිදුවීම නිසා ඔහුට දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට පවා යැමට නොහැකි වී තිබෙනවා. අර වෛද්‍යවරියට කිසිදු තුවාලයක්‌ නැහැ. තාමත් ඇයව රෝහලේ තබාගෙන තිබෙනවා. ස්‌වාමිනී අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඇයව බන්ධනාගාර රෝහලට යවන්න කියලයි.

 විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේ වෛද්‍යවරියගේ රෝගී තත්ත්වය නිසා ඇය තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

 මෙහි පැමිණිල්ල වෙනුවෙන් නුගේගොඩ කොට්‌ඨාසාභාර පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ,පොලිස්‌ අධිකාරී සමන් සිගේරා, නීතිඥ රන්ජිත් සුදසිංහ යන මහත්වරුන් පෙනී සිටි අතර අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මහින්ද කේ. එදිරිසිංහ, ආර්. එම්. ජයසිංහ යන මහත්වරුන් සමග සුමේධ මහවන්නි ආරච්චි මහතා පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විදුර පී. මංචනායක, නීතිඥ හර්ෂණ නානායක්‌කාර යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.


gossip lanka