gossip lanka

ආනන්දි සෂිදරන්ගෙන් නව පක්ෂයක්

තම නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි.

ඊළ තමිල් සුයච්චි කලහම් නො‍හොත් ඊළාම් දෙමළ ස්වාධීන සංවිධාන නමින් නව පක්ෂය ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව ඇය කියා සිටී.

උතුරේ වර්තමානයේ පවතින දේශපාලන පක්ෂ
හරහා දෙමළ ජනතාව වෙනුවෙන් නිසි සාධාරණය ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවට තමා විශ්වාස කරන බැවින් උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසදීම වෙනුවෙන් නව පක්ෂය බිහි කිරීමට තමා බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.

ආනන්දි සෂිදරන් මහත්මිය ඉලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් 2013 වසරේ පැවැත්වූ උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අතර, උතුරු පළාත් සභාවේ පළමු කාන්තා නියෝජිතවරිය ලෙස සෂිදරන් මහත්මිය යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළාත් සභා මැතිවරණය ජයග්‍රාහණය කරනු ලැබීය.

පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව ‍ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟ ඒකාබද්ධව කටයුතු කළ ඇය උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා වෙත විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත්වු අවස්ථාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් පක්ෂය සමඟ විරසකවිණ.

අනතුරුව විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ක්‍රියාකාරි දායකත්වයක් ලබාදුණි.

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වෙත හටගත් ගැටලුව මත පළාත් සභාව වෙත නව අමාත්‍යවරුන් පත්කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කිරීමේදී ආනන්දි සෂිදරන් මහත්මිය වෙත උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යධූරය හිමිවිණ.

දෙමළ ජාතික සන්ධානය වෙත නිරන්තරයෙන් ‍දෝෂාරෝපණය කරන සෂිදරන් මහත්මිය නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමට සුදානම් බව එම වාතාවරණය හමුවේ පැවසීය.

සෂිදරන් මහත්මිය වවුනියාව හා ත්‍රිකුණාමලය දිසාව භාර හිටපු එල් ටි ටි සන්නද්ධ නායකයෙකු ලෙස කටයුතු කළ එලීලන්ගේ බිරිද වේ.

තම ආරම්භ කිරීමට නියමිත පක්ෂය හරහා ඉදිරියේදී පවත්වන සියලු මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදානම් වන අතර, දෙමළ ජාතික සන්ධායේ දේශපාලන ක්‍රියාවලියට එරෙහි සියලු බලවේග තම පක්ෂය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

සටහන - මාධව කුලසූරිය- වවුනියාව




gossip lanka