gossip lanka

චන්ද්‍රිකා විරෝධය මැද පාලමක් විවෘත කරලා !

අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් අද (22) උදෑසන 11.00 ට පමණ විවෘත කෙරුණි.

ඇය පාලම විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් විරෝධතාවක් දියත්කර තිබේ.

මෙම අවස්ථාවේ පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර
අක්‍රීයවන පරිදි බයිසිකල් චේන් පටකින් ප්‍රධාන විදුලි කම්බි මතට පතිත කර විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ බව පැවසේ.

කෙසේවුවද හිටපු ජනපතිනිය කලබලයට පත් නොවී උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසට සංවිධායකවරුන්ට දැනුම් දී තිබූ අතර ඇමැති ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිට තිබේ.

අත්තනගලු ඔය හරහා ඉදිකළ මෙම පාලම චන්ද්‍රිකා මහත්මියගේ මැදිහත්වීම මත ලබාදී තිබූ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ වෙනත් පිරිසක් මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ බව උත්සව සංවිධායකවරු කියා සිටියහ.

මීට දින කිහිපයකට පෙර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ඇතුලු පිරිසක් විසින් රාත්‍රී කාලයේ හදිසියේම මෙම පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.

gossip lanka