gossip lanka

සීනි බදු ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයෝ තිදෙනෙක් සීනි ගෙන්වලා

සීනි කිලෝවක බදු මුදල රුපියල් දාහතයි ශත පනහකින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් තිදෙනෙකු දින 45කට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කර තිබෙන බව ආනයනකරුවෝ පිරිසක් සඳහන් කරති.

සීනි මෙට්‍රික් ටොන් හැට දහසකට අධික ප්‍රමාණයක් මෙම තිදෙනා සතුව තිබෙන බවට වාර්තා වෙන බවත්, මෙම ව්‍යාපාරිකයන්ට බදු ඉහළ දැමීම පිළිබඳ තොරතුරු මුලින් ලැබී තිබෙන බවට සැක කරන බවත් ආනයනකරුවෝ පෙන්වා දෙති.

දින 30ක කාලයකට රටට අවශ්‍ය වන්නේ සීනි මෙට්‍රික් ටොන් හතළිස් දෙදහසත්, හතළිස් පන්දහසත්
අතර ප්‍රමාණයක් බවත් මේ අනුව අදාළ සීනි තොගවලින්  කිලෝවක් රුපියල් දහයක මුදලක් ලාභ ලබාගෙන අලෙවි කළ හොත් ඔවුන්ට රුපියල් මිලියන හයසීයක  ලාභයක් ලැබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.

මේ නිසා ජාවාරමක් සිදු වී තිබේද යන්න සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (24දා) ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට එම ආනයනකරුවන් සැලසුම් කර තිබේ.
පසුගිය 17 වැනිදා රජය විසින් සීනි කිලෝවකට රුපියල් 17 ශත 50ක බදු පැන වූ බවත් මේ වන විට එම බදු මුදල්වලින් රුපියල් 4ක මුදලක් ඉවත් කර තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.
මේ අනුව  ඊට පෙර රුපියල් 90කට තොග වශයෙන් ලබා දුන් සීනි කිලෝවක මේ වන විට තොග මිල රුපියල් 103ක් බවත් එතෙක් ආණ්ඩුවේ යෝජනාව වී තිබෙන්නේ සීනි කිලෝවක් රුපියල් 102කට අලෙවි කළ යුතු බවද ආනයනකරුවෝ පෙන්වා දෙති.

මේ අනුව සෑම සීනි කිලෝවකින්ම රුපියලක් හෝ ඊට වැඩි මුදලක් අලාභයක් සිදු වන බවද ඔවුහු සඳහන් කරති.
එහෙත් බදු පැනවීමට පෙර සීනි මෙට්‍රික් ටොන් හැටදහසකට අධික ප්‍රමාණයක් රටට ගෙන් වූ ව්‍යාපාරිකයන් තිදෙනාට එක් සීනි කිලෝවකින් රුපියල් 10ත් 12ත් අතර විශාල ලාභයක් ලැබෙන බවද ආනයනකරුවෝ සඳහන් කරති.

මේ අතර රුපියල් 102ක තොග මිලට අලෙවි කරන සීනි කිලෝවකින් රුපියල් 49ක් රජයේ බදු බවද එම පිරිස් පෙන්වා දෙති.



gossip lanka