gossip lanka

ස්පාක්’18” නව නිපැයුම් ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා සිට 28 දක්වා කොළඹ රාජකීය විද්‍යාල පරිශ්‍රයේදී

මෙරට පාසල් අතර ප්‍රමුඛ ස්ථානයක් අත්කරගෙන සිටින කොළඹ රාජකීය විද්‍යාලය සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන නව නිපැයුම් ප්‍රදර්ශනය “ස්පාක්’18” එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා සිට 28 වැනිදා දක්වා එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ය.

ජනපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ
අමාත්‍යංශය, මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය අනුමැතිය යටතේ සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කොට ඇත.

ඒ අනුව 25 වැනිදා ඇරඹෙන “ස්පාක්’18” දින හතරක් පුරා උදැසන 9 සිට සවස 3.30 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘතව තිබේ.

අප අනාගත පරම්පරාවේ පරිකල්පන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රථම වරට සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා නව නිෂ්පාදන 600 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබේ.

රාජකීය විද්‍යාලයේ සිසුන් ට අමතරව දිවයින පුරා පිහිටි විවිධ පාසල් නියෝජනය කරමින් සිසුන් 100 කට අධික පිරිසක් මේ සඳහා නව නිපැයුම් ඉදිරිපත් කිරීමට නියමිත ය. 

එසේම මෙරට නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමෙහි ලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් රට පුරා තරගකරුවන් නියෝජනය වන පරිදි පැවැත්වූ තරගාවලියකින් ජයගත් නව නිෂ්පාදන දහයක් ද එහිදී ඉදිරිපත් කරනු ඇත.

සිය නවතම පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සමඟින් ත්‍රිවිධ හමුදාව ද “ස්පාක්’18” සමඟින් එක්විමට නියමිතය.

දැවැන්ත නව නිපැයුම් එකතුවක් සමඟින් එන “ස්පාක්’18” ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රථම විශාලතම නවෝත්පාදන ප්‍රදර්ශනය වනු ඇතැයි සංවිධායකයෝ පවසති.

ඩයලොග් ආසියාටා සහ එලිෆන්ට් හවුස් ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙසින් ද මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා තාක්ෂණික සහකරු ලෙසින් ද “ස්පාක්’18” සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර සම අනුග්‍රාහකයින් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කරනු ලැබේ. මුද්‍රණ සහකරු ලෙස සොෆ්ට්වේව් කටයුතු කරයි.

gossip lanka