gossip lanka

පාරේ ගිය වාහනවලට තාර විසිවී අලකලංචියක්‌; යතුරුපැදිකරුවකුගේ ඇස්‌ ඉවරයි!

අඟුණුකොළපැලැස්‌ස සිට වැටිය දක්‌වා වූ මාර්ගය කාපට්‌ අතුරා ඊට තාර දමන අවස්‌ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන රැසකට 03 දා සවස තාර වැදී දැඩි අලාභ හානි සිදු වූ අතර එක්‌ යතුරුපැදිකරුවකුගේ ඇස්‌වලට තාර වැදීමෙන් අසාධ්‍යව රෝහල් ගත කිරීමට ද පියවර ගැනුණි. මෙහිදී වාහනවල රියෑදුරන් හා කොන්ත්‍රාත් සමාගමේ සේවකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක්‌ ඇතිවිය.

 යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඇස්‌වලට
තාර වැදීමෙන් අසාධ්‍යව රෝහල්ගත කෙරුණේ වැටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඒ. සරත් නමැති අයයි. ඔහු පදලංගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිළිපිටිය රෝහලට ඇතුළත් කෙරුණි. මේ හේතුව නිසා පැය දෙකකට ආසන්න කාලයක්‌ මාර්ගයේ සියලුම ගමනා ගමන කටයුතු අඩාල විය.

 අඟුණුකොලපැලැස්‌ස සිට වැටිය දක්‌වා වූ මාර්ගය කාපට්‌ අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවීම හේතුවෙන් එක්‌ මංතීරුවක පමණක්‌ වාහන ගමනාගමන කටයුතු සිදු වෙයි. මෙහිදී 03 දා සවස 03.00 ට පමණ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන 10 කට පමණ එකවර මාර්ගයට දමන තාර වැදීම හේතුවෙන් අදාළ වාහන හිමියෝ දැඩි අපහසුතාවට පත්වූහ. එහිදී වාහන හිමියන් මාර්ගය මැදම වාහන නවත්වා ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුහූ මෙහි වගකීම භාරගැනීමට අකමැති වූහ. මේ නිසා වාහන හිමියන් හා අදාළ කොන්ත්‍රාත් සමාගමේ සේවකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක්‌ ඇති වුණි. මේ හේතුව නිසා මාර්ගයේ සියලුම රථවාහන ගමනාගමන කටයුතු පැය දෙකක පමණ කාලයක්‌ ඇණහිටියහ. පසුව අඟුණුකොළපැලැස්‌ස පොලිසිය මැදිහත්ව හානියට පත් වාහන මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. පසුව හානියට පත් වූ වාහනවල හිමිකරුවෝ අඟුණුකොළපැලැස්‌ස පොලිසියට පැමිණිල්ලක්‌ කළහ. පසුව රාත්‍රි 09.00 ට පමණ හානියට පත් වාහන හිමියන් සඳහා අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් වන්දි මුදල් ලබාදෙන බවට ලබාදුන් ලිත පොරොන්දුවකින් පසු ගැටලුව සමථයකට පත් විය.



gossip lanka