gossip lanka

දේශපාලනයෙන් සමුගැනීමට උතුරේ ප්‍රබලයෙකු සැරසෙයි

උතුරු පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසුව තමන් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කරණ බව උතුරු පළාත් සභාවේ විපක්ෂනායක සින්නතුරෙයි තවරාසා පවසනවා.

උතුරු පළාත් සභාවේ විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ යාපනයේදී මාධ්‍යවේදීන් විසින් විමසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.

ගත වූ කාලයේදී තමන්ට දේශපාලනය එපා වූයේ
ජනතාවට බොරු කියමින් බොරු පොරොන්දු දෙමින් රැවටීමට සිදුවන නිසා බවද උතුරු පළාත් සභාවේ විපක්ෂනායකවරයා කියා සිටියා.

තමන් තවමත් ඊ.පී.ඩී.පී. සංවිධානය නියෝජනය කරන අයෙකු නිසා එම සංවිධානයේ සියළුම දෙනා තමන්ට ක්‍රියාකාරී කටයුතු සදහා යළි පක්ෂය සමග එකතුවන මෙන් ඉල්ලා සිටියත් දේශපාලනයට යළි පිවිසීමට කැමැත්තක් නොමැති බව යි ඔහු සඳහන් කළේ.

උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමගම තමන් ස්ථිර තීරණයකට එළඹෙන බවත් අනතුරුව මහජනයාට සේවය කළ හැකි දේශපාලන නොවන වැඩ පිළිවෙළක් කරා යොමු වීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු පැවසුවා.

දේශපාලනය තුළ සිටින සියළුම දෙනා හොරුන් බොරුකාරයන් හා වංචාකාරයන් නිසා උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමගම තමන් මෙම තීරණය ගන්නා බවයි විපක්ෂනායකවරයා අවධාරණය කළේ.


gossip lanka