පදක්කම් නැතිව ජකාර්තා වන්දනාව නිමයි !

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවති 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 02 දා සමාප්ත වූයේ චීනය සෙසු රටවල් වලට වඩා නැවත වරක් යාර ගණනක් ඉදිරියෙන් සිටිමිනි.

නැවත වරක් හුදෙක් වන්දනාවකට පමණක් සීමාවූ ආසියානු ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා පිලේ සමුගැනීම සුපුරුදු ලෙස පදක්කම් අහේනියකින් අවසන් විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 ක් හා නිලධාරීන් 78 ක් නිල
වශයෙන් හා තවත් විශාල පිරිසක් නොනිල වශයෙන් ඉන්දුනීසියාවට පැමිණි ශ්‍රී ලංකා නියෝජනය රටවල් 39 ක් පදක්කම් ලබද්දී එකදු පදක්කමක් හෝ දිනා ගත නොහැකිව අවසන් වීම කැපී පෙනෙයි.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසන අන්දමට මෙම ආසියානු ක්‍රීඩා වන්දනාවට ක්‍රීඩා අමාත්‍යංශයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 25 ක් හෙවත් කෝටි දෙකහමාරකි. මීට අමතරව ජාතික ඔලිම්පික් කමිටුව වියදම් කළ ප්‍රමාණය ප්‍රසිද්ධියට පත් කොට නොමැත.

පදක්කම් දිනීම පමණක් නොව අවශ්‍ය වන්නේ සහභාගිත්වය හා අත්දැකිම් ලබා ගැනීම බව මෙයට සහභාගි වූවන්ගේ හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔලිම්පික් කමිටුවේත් අදහසයි.

එහෙත් සාෆ් මට්ටමටවත් නොපැමිණි අයවළුන් ආසියානු ක්‍රීඩා උළෙලකට එවීම පිළිබඳ ඇත්තේ ගැටළුවකි. ඇතැම් ක්‍රීඩා ඉසව් සඳහා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ආරම්භ කරා පමණි. තරගය මැදදී තරගය අත හැරියෝය. බොහෝ දෙනා සහභාගි වූ ප්‍රථම තරගයෙන් හෝ ප්‍රථම වටයෙන්ම ඉවතට ගියෝය. අවසන් තරගයට පැමිණ පදක්කම් පිළිබඳ යම් බලාපොරොත්තුවක් හෝ ඇති කළේ මලල ක්‍රීඩා හා රග්බි යන ඉසව්වලින් පමණි. මිටර් 4˟400 සහාය දිවීම හා රග්බි ලෝකඩ පදක්කම් පෙනෙන මානයට පැමිණ අහිමිව ගියේය.
අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වුවද ප්‍රබල ජපාන පිල හමුවේ ලකුණු 12-10 ක තියුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයන් ලෝකඩ පදක්කම් තරගයේදී කොරියාව හමුවේ පරාජයට පත්වූයේ 36-14 කිනි. එම තරගයේදී ජපානය සමග දැක්වූ සටන්කාමීත්වය හා ජවය ශ්‍රී ලංකා පිලෙන් දක්නට නොලැබිණ.

පරාජයන්ගෙන් පසු වරින් වර ලංකාවට එවනු ලැබු ක්‍රීඩක හා බලධාරීන් පිරිසෙන් ඉතිරිව සිටි සියලු දෙනා ඊයේ සවස (3) ශ්‍රී ලංකාව බලා ආපසු පැමිණීමට නියමිතය.

gossip lanka