gossip lanka

හෂිනිට රට යන්න අවසර දෙයි

විදේශයන්හි පැවැත්වෙන සංගීත සන්දර්ශන දෙකක් සඳහා සහභාගි වීමට අවසර දෙන ලෙස ඉල්ලා ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක ඊයේ (19දා) තංගල්ල මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා සැකකාරියට රුපියල් ලක්ෂ දහයක බැඳුම්කරයක් හා පුද්ගල ඇපයක් මත විදෙස් ගතවීමට අවසර දුනි.

වික්ටර් රත්නායක මහතාගේ බිරිය 2012 සිට 2016
දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි කාලයේදී එහි උකස් අංශයේ තිබූ රුපියල් ‍දොළොස් ලක්ෂ අසූදහසක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කර ඇයගේ විදෙස් ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන තිබේ.

වික්ටර් රත්නායක මහතා ඔක්තෝබර් 17දා සිට දින කිහිපයක් ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ සංගීත සන්දර්ශන කිහිපයක් සඳහා සහභාගි වන අතර ඔහු සමඟ විදෙස්ගත වීමට අවසර දෙන ලෙස ඉල්ලා බිරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක තංගල්ල මහාධිකරණයෙන් මෝසමක් මඟින් ඉල්ලීමක් කළාය.

ඒ අනුව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සැකකාරියට රුපියල් ලක්ෂ දහයක බැඳුම්කරයක් මත හා පුද්ගල ඇපයක් මත විදෙස් ගතවීමට අවසර දුනි. පුද්ගල ඇපය තබන පුද්ගලයා සතු විදෙස් ගමන් බලපත්‍රයද මහාධිකරණය හමුවේ තැබිය යුතු වන අතර සැකකාරිය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු ඇපකරුට විදෙස්ගත වීමද තහනම් කෙරිණි.

ඊට අමතරව සැකකාරිය සඳහා ඔක්තෝබර් 17දා සිට නොවැම්බර් 10දා දක්වා විදෙස් සංචාරයේ යෙදීමටත් ශ්‍රී ලංකාවට පැමිණ දින හතක් ඇතුළත නැවත ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය තංගල්ල මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට භාර දෙන ලෙසත් මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සචිනි ඉද්දමල්ගොඩ මහත්මිය පෙනී සිටි අතර සැකකාරිය වෙනුවෙන් නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පෙනී සිටියේය.


gossip lanka