gossip lanka

හිටපු නාවික හමුදාපති ගැන හෙළිකළ නිලධාරියාට තර්ජන

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට රටින් පලා යාමට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී රැකවරණ දුන් බවට අනාවරණය කළ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවට පැමිණිලි ලැබි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) කොටුව වැඩ බලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ දීමනී බැද්දේවෙල මහත්මියට දැනුම් දුන්නේය.

මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ඉදිරි දින කිහිපය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන
නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බවද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති, ‍පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

2008 වසරේදී කොළඹදී පැහැරගෙන ගිය තරුණයන් අතරින් පස්දෙනකු එම වකවානුවේ ත්‍රිකුණාමලය 'ගන් සයිඩ්' කඳවුරේ රඳවාගෙන සිටි බවට එම සමයේදී තොරතුරු අනාවරණය වූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාගේ ‍ලේකම්වරයා ලෙස කටයුතු කොට විශ්‍රාම ලැබූ රියර් අද්මිරාල් ශ්‍යාමල් ප්‍රනාන්දු මහතා පසුගිය 18 වැනිදා ප්‍රකාශයක් ලබාදී ඇතැයිද ‍පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම නිලධාරියා ඒ පිළිබඳව එම සමයේ දැනුවත්ව සිටි නමුත් රාජකාරි මට්ටමින් ඇති අවහිරතා නිසා ඒ සමයේ අනාවරණය නොකළ බවත් හෙතෙම ප්‍රකාශ කළ බවද අධිකරණයට පෙන්වා දුන් ‍පොලිස් පරීක්ෂකවරයා එවකට සමාජ සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෆීලික්ස් පෙරේරා මහතාගේ ඉල්ලීම මත එම නිලධාරියා එම පැහැර ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා ඇතැයිද අධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ 10 වන සැකකරු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර නාවික හමුදා මූලස්ථානයේ සැඟව සිටි බව දැන දැනත් ඔහු අතුරුදන් බවට අසත්‍ය පැමිණිල්ලක් වැල්ලම්පිටිය ‍පොලීසියට කළ ඔහුගේ බිරිඳට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සැකකරු ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි නමැත්තාව ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද වැඩ බලන නිල නොලත් මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය එහිදී කරුණු දක්වමින් එම පැහැර ගැනීම් සිදුවී වසර දහයක් ගතවී ඇතත් එකී අපරාධයට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට එරෙහිව නිසි දඬුවමක් ලබාදීමට අ‍පොහොසත්වීම පැහැර ගැනීමට ලක්වූ දෙමාපිය ඥාතීන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇති බවයි.

සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ‍පොලිස් පරීක්ෂක එස්. එස්. සම්පත්, ‍පොලිස් පරීක්ෂක පද්මසිරි ඉලංගසිංහ යන මහත්වරුන් සමග එම විමර්ශන අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවීය.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

gossip lanka