gossip lanka

අගමැති ඇතුළු හයකට වාරණ නියෝගයක්

ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හයදෙනකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ජයකී ද අල්විස් මහත්මිය ඊයේ (26) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු හයදෙනකුට වාරණ නියෝගයක් නිකුත් කළාය.

ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන අන්වර් අන්සාර් මොහොමඩ්, රියාස් ලතීෆ්, මොහොමඩ් රෝෂන්, මොහොමඩ් එෆ්. නිශාන්, මොහොමඩ් ශිරාජ් හා මොහොමඩ් නිලාම් යන හයදෙනා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය ලබන 10 වැනිදා දක්වා
බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝගය නිකුත් කළාය.

ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අගමැති රනිල් වික්‍රමසිංහ, එජාප මහ ‍ලේකම් අකිල විරාජ් කාරියවසම් හා එජාප විනය කමිටුවට නොතීසි නිකුත් කිරීමටද ප්‍රධාන දිසා විනිසුරුවරිය එහිදී නියෝග කළාය.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය ගාල්ල මහ නගර සභාවේ පාලන බලය දිනාගත් නමුත් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු එම නගර සභාවේ නගරාධිපති ධුරයට තේරී පත්වූ බවත් නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේදී සහය දැක්වූ බවට චෝදනා කරමින් සිය පක්ෂය විසින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් හයදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබුණි.

බහුතර මන්ත්‍රීවරුන්ගේ අභිමතය පරිදි තමන්ද කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීම අසාධාරණ හා යුක්ති සහගත නොවන බවත් එය පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බවත් පෙත්සම්කරුවන් එමගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.

නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

gossip lanka