gossip lanka

සේවක වැටුප්වලටත් මිල සූත්‍රයක් ඉල්ලයි

මිල සූත්‍රයේ වෙනස්වීම්වලට අනුව ඛනිජ තෙල් මිල ඉහළ දමන්නේ නම් ඊට සරිලන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමේ සූත්‍රයක්ද නිර්මාණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මුළු රටම කනත්තට දක්කගෙන යන අවමංගල පෙරහරට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හිස පහතට නමාගෙන ගමන් කිරීම පිළිබඳව තමන් පෞද්ගලිකව ලැජ්ජාවට පත්වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පසුගියදා බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"ඉන්ධන මිල සූත්‍රයට අනුව සති තුනක කාලයක් ඇතුළතදී තුන් වැනි වරටත් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා. ඛනිජ තෙල් මිල ඉහළ යෑමත් සමඟම අනෙක් සියලුම භාණ්ඩ හා සේවාවල මිල වැඩිවෙනවා. මේ ඉන්ධන මිල සූත්‍රය කුමක්ද, මිල වැඩිවෙන්නේ කුමන ප්‍රතිශතයකින්ද කියන්න ජනාධිපතිවරයා දන්නේ නැහැ. මේ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව විෂයභාර අමාත්‍යවරයා හා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සඳහන් කරනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් මේ සූත්‍රය ගැන කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. මේ මායාකාර ගුප්ත මිල සූත්‍රය මොකද්ද?" යැයි පැවසීය.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නඩුව පසුගියදා කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ නඩුවේදී සාක්ෂිකරුවන්, පැමිණිලිකරුවන් හැරුණු විට වෙනත් කිසිවකු අධිකරණ පරිශ්‍රයට ඇතුළුවීම වළක්වා තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනෙක් මෙම නඩු විභාගයට සහභාගි වුණා. අධිකරණ නියෝගය අනුව අපි අධිකරණ පරිශ්‍රයට ඇතුළු වුණේ නැහැ. නමුත් පළමු වතාවට මාධ්‍යකට අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීම වළක්වා තිබුණා. සියලුම මාධ්‍යට නඩුව වාර්තා කිරීම තහනම් නම් නඩුවේ තොරතුරු ආණ්ඩුවේ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂපාඨය බවට පත්වුණේ කොහොමද? කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා".
gossip lanka