gossip lanka

මිල සූත්‍රයක්‌ නැත්නම් බස්‌ ගාස්‌තු 10% කින් නගී

දින තුනක් තුළ ආණ්ඩුව බස් ගාස්තුව සම්බන්ධව මිල සූත‍්‍රයක් හඳුන්වා නොදුන්නොත් බස් ගාස්තුව 10% කින් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා  කීය.

ආණ්‌ඩුව ඉන්ධන මිල සම්බන්ධව හඳුන්වා දී ඇති මිල සූත්‍රය නිසා පසුගිය මස ඩීසල් ලීටරයක්‌ රුපියල් 09 කින්ද මෙම මස රුපියල් 05 කින්ද ලෙස රුපියල් 14
කින් මිල ඉහළ ගොස්‌ ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මේ හේතුවෙන් කෙටි ගමන් වාරවල නිරත වන බස්‌ රථයකට දිනපතා වැය කිරීමට සිදුවන ඉන්ධන මිල රුපියල් 2000 කින් පමණ වැඩි වී ඇතැයි කී ඒ මහතා මෙය කිසි ලෙසකින්වත් දැරිය නොහැකි බවත් පැවසීය.

එබැවින් රජය මේ පිළිබඳව වහා අවධානය යොමු කොට බස්‌ ගාස්‌තුවටද මිල සූත්‍රයක්‌ හඳුන්වා නොදුනහොත් බස්‌ ගාස්‌තුව සියයට 10 කින් ඉහළ දමන බව ස්‌ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවසීය.

ආණ්‌ඩුව තම මාර්ග බලපත්‍ර අවලංගු කෙරුවද ඊට බිය නොවී බස්‌ ගාස්‌තුව ඉහළ දැමීමට ක්‍රියා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ගැමුණු විඡේරත්න සහ සරත් විජිත කුමාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇති අනෙක්‌ ප්‍රධාන බස්‌ සංගම් වන ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් බස්‌ හිමියන්ගේ සංගමයද බස්‌ ගාස්‌තුව ඉහළ නැංවිය යුතුය යන මතයේ සිටින අතර ඒ සම්බන්ධව සිය සංගම්වල සාමාජිකයන් සමග සාකච්ඡා කොට තීරණයක්‌ ගන්නා බවද සඳහන් කරති.

- දිවයින


gossip lanka