gossip lanka

දස ලක්‍ෂ 135 ක බැංකු ණය නොගෙවා වංචා කළ සහල් මෝල් හිමියා රිමාන්ඩ්

වී තොග රැුස්කර ගබඩා කිරීම සඳහා එක්තරා පෞද්ගලික බැංකුවකින් රුපියල් දස ලක්ෂ 150 ක මුදලක් ණය වශයෙන් ලබාගෙන ඒ මුදලින් රුපියල් දස ලක්ෂ 136 ක් ආපසු නොගෙවා පැහැර හැර බැංකුවට වංචා කළ බවට පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියකුට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 3 දා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙසට පොලොන්නරුව
මහෙස්ත‍්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ පොලොන්නරුව, ලක්‌ෂ උයන අංක 18, ජයවික්‍රම රයිස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් ආයතනය ලිපිනයේ පදිංචි ජයවික්‍රම ආරච්චිලාගේ සංජීව මධුශංඛ ජයවික්‍රම නමැත්තායි.

අදාළ පෞද්ගලික බැංකුවේ පොලොන්නරුවේ,කදුරුවෙල ශාඛාව මගින් මේ ව්‍යාපාරිකයාට 2017 වසරේ මැයි මාසයේ සිට 2017 වසරේ දෙසැම්බර් මාසය දක්‌වා රුපියල් දස ලක්‌ෂ 150 ක මුදලක්‌ වී තොග මිලදී ගෙන ගබඩා කිරීම සඳහා පොලී සහිත ණය වශයෙන් ලබාදී තිබේ.

 එකී ණය මුදල උපයෝගී කර ගනිමින් ඔහු විසින් වී තොග මිලදී ගෙන මැදිරිගිරියේ යුදගනාව ප්‍රදේශයේ පිහිටි ගබඩාවක වී තොගය ගබඩා කර ඒ ගබඩාවේ එක්‌ යතුරක්‌ අදාළ පෞද්ගලික බැංකුවේද ඉතිරි යතුර ව්‍යාපාරිකයා සන්තකයේද තබාගෙන ඇත. ණය නිකුත් කිරීමේ කොන්දේසිවලට අනුව අදාළ බැංකුවට නොදන්වා වී ගබඩාව විවෘත කිරීම හෝ වී තොග බැහැර කිරීම නොකළ යුතුව තිබියදී මේ ව්‍යාපාරිකයා එකී කොන්දේසි කඩකර හොර රහසේ වී තොග ලබාගෙන ඇති බවත් ලබාගත් ණය මුදල වන රුපියල් දස ලක්ෂ 150 න් බැංකුවට ආපසු ගෙවා ඇත්තේ රුපියල් දස ලක්‌ෂ 14 ක්‌ පමණක්‌ බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ අනුව ඉතිරි රුපියල් දස ලක්‌ෂ 136 ක මුදලක්‌ පෞද්ගලික බැංකුවට නොගෙවා පැහැර හැර වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 මේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින හෙයින් විමර්ශන කටයුතු අවසන් නොමැති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කරුණු වාර්තා කළහ.

gossip lanka