gossip lanka

විජයකලා ගැන නීතිපති උපදෙස් කථානායකට !

හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට අදාළව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පියවර ගත හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායකවරයාට උපදෙස් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධව පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවලට අදාළව ගත යුතු නීතිමය පියවර පිළිබඳ
පරීක්‍ෂා කළ බවද නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කරමින් යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී කොටි සංවිධානය පැවති සමයේ ස්ත්‍රීන් හා දැරියන් ලිංගික හිංසනයට පාත්‍ර නොවිණැයි ද එහෙයින් කොටි සංවිධානය නැවත නගාසිටුවිය යුතු බව කියමින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධව විවිධ පුද්ගලයන් සහ සංවිධාන පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමේ වාර්තාව පසුගියදා පොලිස්‌පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව මේ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයාද ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ පත්කළ අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා මෙම කණ්‌ඩායම විසින් අධ්‍යයනය කර ඇත.

කතානායකට වාර්තාවක් ලැබී නැහැ !

මේ සම්බන්ධව කථානායක කාර්යාලයෙන් අප කළ විමසීමේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපතිවරයා විසින් මෙතෙක්‌ කථානායකවරයා වෙත විජයකලා මන්ත්‍රීවරිය පිළිබඳ වාර්තාවක්‌ එවා නැති බවයි.

පොලිස්‌පතිවරයා විසින් මේ සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇතත් මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය වී ඇතිද යන්න සම්බන්ධව නීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දීමක්‌ කළ විට අවශ්‍ය පියවර ගත හැකි බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් ආධාර අනුබල දීම අනුග්‍රහය දැක්‌වීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවට සෑම මන්ත්‍රීවරයකුම දිවුරුම් දෙන අතර එය උල්ලංඝණය කළොත් එම මන්ත්‍රීවරයාගේ හෝ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධුරය අහෝසි වන අතර වසර හතක්‌ නොඉක්‌මවන කාලයක්‌ සඳහා ප්‍රජා අයිතිවාසිකම්ද නොලැබේ.

විජයකලා කනස්සල්ලෙන් :"කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටු විය නොහැකියි" 

මේ අතර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරිය ඊයේ (19) සවස යාපනයේ පැවති උත්සවයක දී පැවසුයේ, තමන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන තමන්ගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයද අහෝසි කොට පවත්වන ලද කිසිම පරීක්ෂණයක් සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි.

යුද්ධයෙන් පීඩාවට පත් යාපනයේ කාන්තාවන් පිරිසක් සඳහා ජීවනාධාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසමින් තවදුරටත් පැවසුයේ, තමන් වෙනුවෙන් පවත්වන ලද සියළුම පරීක්ෂණ ගැන තමන් කණගාටුවන බවයි.

යාපනයේ පැවති උත්සවයකදී තමන් අතීතයේදී උතුරු පළාත පැවති අන්දමත් ඒ සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියා කළ අන්දමත් විස්තර කළා මිස රාජ්‍ය විරෝධී යමක් ප්‍රකාශ නොකළ බව විජයකලා මන්ත්‍රිවරිය මෙහිදී කියා සිටියාය.

තමන් කළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය ලෙස විකෘති කරමින් ඊට විශාල ප්‍රචාරයක් ලබා දීම නිසා තමන්ට මෙවැනි ඉරණමක් අත් වූ බව පැවසූ මන්ත්‍රිවරිය, තමන් උපත ලැබුවේ උතුරේ දෙමළ බිමක බව දකුණේ ජනතාව අමතක කළ නිසාවෙන් මෙවැනි විනාශයක් සිදු වූ බවද කියා සිටියාය.

තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කොට සමාව අයැද සිටියත් අනවශ්‍ය අන්දමට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලද්දේ සිංහල බෞද්ධ බලවේගවල බලපෑම නිසා බව පවසන මන්ත්‍රිවරිය උතුරේ ජනතාව තමන්ව විශ්වාස කොට තමන් සමග රැඳී සිටීම පිළිබඳව විශාල ආඩම්බරයක් හටගෙන ඇතැයිද මෙහිදී පැවසුවාය.



gossip lanka