gossip lanka

ලංකාවේ පාසල් 433ක පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ

ලංකාවේ පාසල් 9116 කින් පාසල් 433කට ඉකුත් වසරේදී පළමු වසර පංතියට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ලැබී නැතැයි අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ 2017 වසරේ පාසල් සංගණන මූලික  වාර්තාවේ සඳහන් වේ.

බස්නාහිර පළාතේ පාසල් 19 ක්ද ඊට ඇතුළත් වේ. 2017දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසැල් වැඩිම ප‍්‍රමාණයක් තිබෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ වන
අතර එය සංඛ්‍යාත්මකව 49කි.

2016දී පාසල් 331කට පළමු වසර අයදුම්පත් ලැබී නැති අතර එයින් පාසල් 16ක් බස්නාහිර පළාතේ පාසල්වේ.

මෙම තොරතුරු අනුව 2017 වසරේදී පාසල් 433ක ද 2016 වසරේ පාසල් 331කද පළමු වසර පංතියක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව මේ වසරේදී පාසල් 433ක දෙවන වසර පංතියක්ද පාසල් 331ක තෙවන වසර පංතියක්ද පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.

ඇතැම්විට 2017 වසරේදී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසල් 433 තුළ 2016දී අයදුම්පත් කිසිවක් නොලැබුණ පාසල්ද තිබිය හැකි බැවින් මේ වසරේ දෙක වසර හා තුන වසර පංති දෙකම අහිමිවූ පාසල් රැසක්ද මේ අතර තිබිය හැකිය.

මෙම වාර්තාවලට අනුව 2017 වසරේදි පළමු වසරට අයදුම්පත් පහට අඩුවෙන් ලැබුණ පාසල් ප‍්‍රමාණය 1345ක් වන අතර එය 2016දි 1270කි.

ඒ අනුව පළමු වසරට අයදුම්පත් නොලැබෙන පාසල් ප‍්‍රමාණය 2016ට සාපේක්ෂව 2017 වසරේදී තව තවත් වැඩිවි තිබේ. මෙය වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදි මේ පාසල් වැසී යාමේ තර්ජනයක්ද පවතී.

gossip lanka