gossip lanka

ජකර්තා සිහින සාප්පුව ගිනිගනියි !

ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් යනු ඕනෑම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සිහිනයකි. එම සිහිනය සැබෑ වීම කිසිවිටෙක පහසු කටයුත්තක් නොවන්නේ ඒ සදහා විශාල කැපවීමක් කල යුතු බැවිනි .

ඒත් සමහරු ගහක අත්තකට නගින්න පෙර හඳට යාමට වෙර දරති.

අප රටෙත් බොහෝ ක්‍රීඩා වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
එවැන්නවුන්‍ ය.

ජාත්‍යන්තර මට්ටම යනු කුමක්දැයි හොදින්ම දන්නේ එවන් මට්ටමේ ක්‍රීඩා උලෙළකට සහභාගි වූවන්‍ ය.

එවන් ක්‍රීඩා උලෙළකට සහභාගි විය යුත්තේද ඒ මට්ටම හෝ ඒ අසලකටවත් කිට්ටු වූවන් මිස හුදෙක් වන්දනාවක නියැලෙන්නන් නොවේ.

අප රට දුප්පත් රටකි.ඒ බව කීමට හෝ පිළිගැනීම ලජ්ජාවට කරුණක් නොවේ.

එනිසා ක්‍රීඩාවෙන් වුව අප අයත් වන්නේ දුප්පත් ගනයටය.

අප රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනත් බොහෝ රටවල ලබා ගත හැකි පහසුකම් නොමැත.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුනුව හෝ තරග පුහුනුවට තිබූ සුගතදාස ක්‍රීඩා පිටියද වැඩි කාලයක් තිබුනේ ධාවන පථයක් නොමැතිව වසා දමාය.

පුහුනු කරුවන් සිටියද ඔවුන් අති දක්ශයෝම නොවෙති.

එහෙත් තමන්ට ඔලිම්පික් පදක්කමක් දක්වා ගෝලයන් පුහුනු කල හැකි බව මේ ඇතැමුන් සිතා සිටින බව නොරහසකි.

එහෙත් ජාත්‍යන්තරය ජය ගත හැකි ක්‍රීඩකයන් බිහි කිරීමේ සමත් පුහුනුකරුවන් අපට සිටි බවත් කිව යුතුය.

නොඑසේනම් සුසන්තිකාලා, සුගත්ලා,දර්ශලා, විමලදාසලා, වගේම චින්තනලා, ලාෆිර්ලා බිහි වෙන්නේ නැත.

ඇතැම් විට මොවුන් සහජ දක්ශයන් වුවද ඔවුන්ගේ දක්ශතා ඔප මට්ටම් කලේ එම පුහුනුකරුවන්‍ ය.

මා ආසියානු ක්‍රීඩා උලෙළ වල් හතරකට ගොස් ඇත. මෙවන් ක්‍රීඩා උලෙළක් තබා මෙයට පෙර පවත්වා තිබුනත් දකුනු ආසියානු ( SAF) ක්‍රීඩා උලෙළක හෝ සත්කාරක රටක් බවට පත් වන්නටවත් අපට නුපුළුවන.

එවන් ජාත්‍යන්තර තරග මට්ටමේ ක්‍රීඩාන්ගන අපට නොමැත.

එවැනි තැන් හදන්නට බිලියන ගනන් අපට වියදම් කරන්නටද නොහැකිය.

ක්‍රිකට් ක්‍රීඩාන්ගන හදන්න ගොස් තවමත් බිලියන ගනන් නය ගෙවන්න ඉතිරිව ඇත.

එසේ තිබියදී වරක් අප රටේ ඇත්තෝ හම්බන්තොට පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළක් පවත්වන්නට හීන දැක බිලියනක් වතුරේ යැව්වෝය.

වැරදිලාවත් ගෝල්ඩ් කෝස්ට්ට නොව අපට එය පවත්වන්න ලැබුණේ නම් පරම්පරා ගනනක් අප ගෙවන නයට තවත් දෙගුනයක් එක් වීමට තිබින.
නොලැබුනේ පෙර පිනකටය.

ඉතින් මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ මේ දක්වා පදක්කම් දිනා සිට්න රටවල් 37 අතරටවත් ඒමට නොහැකි වීම ගැන අපි අපේ ක්‍රීඩකයන්ට දොස් පැවරිය යුතු නොවේ.

හුදෙක් විදෙස් ක්‍රීඩා උලෙළ වන්දනාව මිස ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා ,යටිතල පහසුකම් දියුනුව හෝ පුහුනු කරුවන්ගේ මට්ටම නගා සිටුවීමට කිසිදු තැතක් නොදරන ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් , ක්‍රීඩා සන්ගම්, සම්මේලන තිබෙන ක්‍රීඩාව යනු කුමක්දැයි අත්දැකීමක් හෝ නොමැති අය ක්‍රීඩා ඇමැතිවරුන් ලෙස පත් කරන රටක ක්‍රීඩාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

කරුණු කාරනා එසේ තිබියදීත් ක්‍රිකට් , බිලියඩ් ස්නූකර්, කැරම් වලින් ලෝක සූරතාත් ඔලිම්පික් පදක්කම් දෙකක් හා ආසියානු පදක්කම් දිනා ගැනීමට අපට හැකි වීම ගැන ආඩම්බර විය හැකිය.

රංජන් පරණවිතාන - ජකරතා සිට


gossip lanka