gossip lanka

BMW රියේ වීදුරුව කුඩු කර රිය අනතුරක් කළ බවට බොරු පැමිණිළි කරලා

කොළඹ සිට සංචාරයක්‌ සඳහා ඉකුත් 25 වැනිදා ගාල්ල කොටුවට යුවළක්‌ පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක ඉදිරිපස වීදුරුවට පහරදී රුපියල් තුන්ලක්‍ෂ අනූදහසක අලාභයක්‌ සිදුකරන ලද සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මේ අතර එම මෝටර් රථය තම දියණිය හප්පා රිය අනතුරක්‌ සිදුකළ බවට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක්‌ කිරීම සම්බන්ධයෙන් සැකකරුට
එරෙහිව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකි.

 පොලිසිය පවසන අන්දමට කොළඹ පදිංචි තරුණ යුවළක්‌ සංචාරයක්‌ සඳහා ඔවුන්ට අයත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයෙන් ගාල්ල කොටුවට පැමිණ ඇත. එසේ පැමිණ දිවා ආහාර ගැනීම සඳහා ආපනශාලාවකට යෑමට පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල අසලදී මෝටර් රථය පිටුපසට ගන්නා විට එහි සිටි පිරිසක්‌ "හෝව් හෝව්" යනුවෙන් කෑ ගසා ඇත. ඔවුන් එසේ කෑ ගසා ඇත්තේ කුඩා දරුවකුද වඩාගෙන සිටි කාන්තාවකගේ ඇඟේ රිය හැප්පේ යයි සිතාය. ඒ සමගම දුවගෙන පැමිණි එම කාන්තාවගේ පියා මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හෙල්මටයකින් පහරදී කුඩු කර ඇත. වීදුරුවට සිදුවූ අලාභය රුපියල් තුන්ලක්‍ෂ අනූදහසක්‌ බවට එහි පැමිණි පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 පසුව මෝටර් රථය අපරීක්‍ෂකාරී ලෙස පිටුපසට ගැනීමේදී කුඩා දරුවා වඩාගෙන සිටි තම දියණියගේ ඇඟේ එය හැපුණ බවට සැකකරු විසින්ද රථ වාහන අංශයට පැමිණිල්ලක්‌ කර ඇත. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම ස්‌ථානයේ ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එවැනි කිසිම අනතුරක්‌ සිදුව නොමැති බවයි. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක්‌ කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි. සැකකරු ගාල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


gossip lanka