gossip lanka

රටින් පැනගිය සරසවි ඇදුරන් 486 ට වැඩ වරදී

ගිවිසුම්වලට එළැඹ පිටරට උසස් අධ්‍යාපන කටයුතු සඳහා එතෙර ගොස් එම ගිවිසුම් කඩකරමින් යළි මෙරටට නොපැමිණි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හාරසිය අසූහය දෙනකුට එරෙහිව නීතිමය පියවර ගැනීම මේ වනවිටත් අරඹා ඇති අතර එම ගිවිසුම් ප්‍රකාරව ඒවාට අස්සන් තැබූ ඇපකරුවන්ගෙන් හෝ අදාළ මුදල් අය කර ගැනීමට නීතියෙන් කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇස්තමේන්තු කර ඇති ආකාරයට එම විදේශගත කථිකාචාර්යවරු හාරසිය අසූ හය දෙනාගේ විදෙස් උසස් අධ්‍යාපනය සඳහා වන පාඨමාලා ගාස්තු, සංචාරක වියදම් සහ වෙනත් වියදම් සඳහා රුපියල් මිලියන අටසියයක් වියදම් කොට ඇති බවද එම මුදල් ඉදිරියේදී අය කර ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසීය.

මේ වනවිටත් එම කථිකාචාර්යවරුන් වෙත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලිඛිත දැනුම්දීම් සිදුකර තිබුණද ඇතැමුන් ඒවා නොසලකා හැර ඇතැයිද පැවැසුවේය.

 කොන්දේසි දැඩි කිරීමේ සුදානමක් :

 එවැනි කථිකාචාර්යවරු පිරිසකට මේ වනවිටත් නඩු පවරා ඇති බව සඳහන් කරන ඇමැතිවරයා ප්‍රකාශ කළේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී ඇති ඔවුන් ගිවිසුම්වලට පටහැනිව ක්‍රියා කරමින් එම රටවලට වී වෙනත් රැකියාවල නියුතු වන බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නෝර්වේ, නවසීලන්තය, ස්වීඩනය හා නෙදර්ලන්තය වැනි රටවල් සඳහා එම කථිකාචාර්යවරු පිටත්ව ගොස් ඇති බවත් ඉදිරියේදී මෙවැනි අධ්‍යයන කටයුතු සඳහා මෙසේ ගිවිසුම්ගතවී පිටත්ව යෑමේදී පනවන කොන්දේසි දැඩි කිරීමට සිදුවන බවද හෙතෙම පැවැසීය.

ඔවුන් එසේ ගොස් නැවත මෙරටට නොපැමිණීම හේතුවෙන් එම පුරප්පාඩු සඳහා අධික වියදමක් දරමින් වැඩි වැටුපකට බාහිර කථිකාචාර්යවරුන් යෙදවීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

(මව්බිම)
gossip lanka