gossip lanka

වතුකරයට වෙනම විශ්වවිද්‍යාලයක් ඉල්ලයි

උඩරට වතුකරයේ ද්‍රවිඩ සිසුන් සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වතු කම්කරු සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

මෙරට විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමේදී සුළු ජාතීන් බහුතරයක් වෙසෙන උතුරට හා නැඟෙනහිරට වෙනම විශ්වවිද්‍යාල ඇති කිරීමට පියවර ගෙන ඇතත් මෙතෙක් පැවැති සෑම රජයක්ම උඩරට වතුකරයේ ද්‍රවිඩ සිසුන් අමතක කර ක්‍රියාකිරීම මෙම ඉල්ලීමට හේතු වී තිබේ.

මේ වනවිට වතුකරයේ විශ්වවිද්‍යාල වරම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා යාපනය සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලයන්ට යෑමට සිදුවී ඇතැයි මේ පිළිබඳව අදහස් දක්වමින් පැවැසූ කෘෂිකර්ම හා වතු කම්කරු සංගමයේ සභාපති ආර්.එම්. ක්‍රිෂ්ණසාමි මහතා ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම නිසා ඇතැම් සිසුන් වියදම් සොයා ගැනීමට නොහැකිව විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දමා ඇතැයිද පැවැසීය.

තම මවුපියන් බහුතරයක් වතු කම්කරුවන් ලෙස සේවයේ යෙදී සිටින නිසා දැනට ඔවුන්ට ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන හෙයින් තමන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දැරීමට සිදුවන නේවාසික ගාස්තු ඇතුළුව වෙනත් වියදම් දැරීමට ඔවුන්ට හැකියාවක් නොමැති හෙයින් තමන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට අතහැර දැමීමට සිදුව ඇති බව සිසුන් ගණනාවක් තමන් සමඟ ප්‍රකාශ කළ බව පවසන ආර්.එම්. ක්‍රිෂ්ණසාමි මහතා මේ තත්ත්වය මත වතුකරයෙන් උගතුන් බිහිවීම මේ වනවිට අඩාල වී ඇතැයිද ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අවධානය යොමු කර උඩරට වතුකරයේ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමෙන් අවම වියදමකින් වතුකරයේ දෙමළ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව උදාවීම නිසා පවතින ද්‍රවිඩ මාධ්‍ය ගුරු හිඟයටද විසඳුම් ලැබෙන බවද කීය.
gossip lanka