gossip lanka

චාමරගේ සමුගැනීමෙන් හිස්වූ 'රැස' මුල්පුටුව රංජිත් කුමාර සමරකෝන්ට.

'රැස'දිනපතා ජාතික පුවත්පතේ අභිනව ප්‍රධාන කතෘවරයා ලෙස රංජිත් කුමාර සමරකෝන් මහතාව පත්ව තිබේ.නවමු ආරක් ගත් ජාතික පුවත්පතක් වන 'රැස'ආරම්භක කතෲවරයා වූ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවයෙන් පසුව එකී පුවත්පතේ වගකීම රංජිත් කුමාර සමරකෝන් මහතා වෙත පැවරී තිබේ.

කලක් ජාතික තරුණ සේවා සභාවේ කටයුතු කළ හෙතෙම අනතුරුව පුවත්පත් මාධ්‍ය වෙත ප්‍රවිශ්ඨ විය.

මීට වසර කිහිපයකට පෙර ලක්බිම පුවත්පතේ 'ප්‍රතිභා'සාහිත්‍ය අතිරේකය සංස්කරණය කරමින්
මාධ්‍ය ක්ශේත්‍රයේ ස්වකීය සලකුණ තැබූ රංජිත් කුමාර සමරකෝන් ලක්බිම පුවත්පතේම 'එන් ජෙනරේෂන්'අතිරේකයද සංස්කරණය කළේය.

නවමු සාහිත්‍ය නිර්මාණකරුවන්ට සේම ප්‍රවීණයින්ටද එක සේ අවස්ථාව සලසා දුන් ප්‍රතිභා සාහිත්‍ය පිටුව එවක වඩාත් ප්‍රශස්ථම සාහිත්‍ය අවකාශයව පැවතින.

සමාජ මාධ්‍ය ඇසුරෙහි නිර්මාණ කරන නිර්මාණකරුවන්ට මුද්‍රිත පුවත්පත් පිටු අතර අවකාශය සලසා දුන් ප්‍රමුඛයා ඔහුය. එන් ජෙනරේෂන් හරහා බිහි වූ නිර්මාණකරුවන් ප්‍රමාණය අති මහත් ය.

ඉන් පෙර කිසිදු පුවත්පතක එවැනි ඉඩ අවකාශයක් 'සයිබර් නිර්මාණකරුවන්ට'ලැබුණේ නැත. 'එන් ජෙනරේෂන්' වසර7ක් ඉක්මවා ගොස් තිබෙන අතර තවමත් 'ලක්බිමෙහි' එය පලවෙයි.

පුවත්පතක පිටුවක් එතරම් පාඨක ප්‍රජාවක් වැළඳගත් අවස්ථා විරලය.

ලක්බිම පුවත්පතට රංජිත් කුමාර සමරකෝන් විසින් රචිත 'හුස්ම ගන්න අකුරු' පාඨක විචාරක දෙපාර්ශවයේම නොමද කතා බහට ලක් වූ කෘතියක් විය.

කලක් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ  සැලසිනේ රූපවාහිනී ආයතනයේ විශේෂ ව්‍යාපෘති කලමනාකරු බවට පත්වන හෙතෙම ටික කලකින් මව්බිම පුවත්පත සමඟ එක්ව මාධ්‍ය කටයුතු සිදු කළේය.

එහිදී දේශපාලන සංවාද පිළිබන්දව ප්‍රශස්ථ කුසලතාවයකින් හෙබි රංජිත් මෙරට කතාබහට ලක්වූ චරිත රැසක් ප්‍රශ්න කළ සහ සංවාදයට බඳුන් කළ මාධ්‍යවේදියෙකු විය.

මව්බිම පුවත්පතේ 'දේශපාලන විග්‍රහ, සති අන්ත දේශපාලන කොලම් රචනා කළ ඔහු මාධ්‍ය ලෝකයේ කඩිනම් ගමන වෙනුවට වඩාත් ප්‍රවේසම්සහගත සහ දැනුමින් සන්නද්ධ ගමනක යෙදුණු මාධ්‍යවේදියෙකු විය.

පිටපත් රචකයෙකු, නව මතවාද ඉදිරිපත් කරන්නෙකු ලෙසද හෙතෙම ප්‍රකට ය.

ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් කුමාර මහතා සමඟ 'රැස' පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු වූ රංජිත් කුමාර සමරකෝන් එහි විශේෂාංග කතෘවරයා ලෙස කටයුතු කළ අතර පසුව එහි නියෝජ්‍ය කතෘ බවට පත් විය.

ඔහු 'රැස'ප්‍රධාන කතෘ ධූරයට පත්වන්නේ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ අභාවයෙන් පසුවය.

gossip lanka