gossip lanka

මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන්ගෙන් ඓතිහාසික තීරණයක්….

කොළඹ පිටකොටුව මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන් පළතුරු ඉදවීම සඳහා කෘතීම රසායන ද්‍රව්‍ය භාවිතය අත්හැරීමට තීරණය කරන ලදි.

මැනිං වෙළඳපොලේ සහ රටපුරා වෙළෙන්දන් පළතුරු ඉදවීම සදහා කෘතීම රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරන බව පසුගිය සති කිහිපයක් පෞද්ගලික රුපවාහිනී නාලිකා කිහිපයක් සාක්ෂි
සහිතව කරුණු ඉදිරිපත් කළේය.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ මගපෙන්වීමෙන් මෙම තීරණයට එළෙඹි බවත් රසායන ද්‍රව්‍ය භාවිතා කර පළතුරු ඉදවීමෙන් සෞඛ්‍ය අවදානමක් ඇති බව මේ වන තෙක් තමන්ට කිසිවකු හෝ නිසි පරිදි පැහැදිලි කර නොදුන් බවත් සමස්ත ලංකා ඒකාබද්ධ සහ මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක HM උපසේන මහතා පැවැසීය. සමාගම්වල නියෝජිතයන් සහ කෘෂිකර්ම නිලධාරීන් පැමිණ මීට වසර 12කට පමණ පෙර මේ රසායන ද්‍රව්‍ය තමන්ට හඳුන්වා දුන් බව පැවසූ උපසේන මහතා එතෙක් කල් දුම් ගැසීමෙන් පලතුරු ඉදවීමේ ක්‍රමවේදයක් වෙළෙන්දන් අනුගමනය කල බව පැවසීය. කෘතීම රසායන ද්‍රව්‍ය නැතිව අදටත් පලතුරු ඉඩවීමට වෙළෙන්දන්ට හැකි බවත් හෙට දිනයේ සිටම ඒ සඳහා කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

1200ක් පමණ වන මැනිං වෙළෙන්දන්ගෙන් 90% බෞද්ධයන් බව පැවසු මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා මෙහි වෙළෙන්දන්ගේ පවුල්වල අය කන්නේද මේ පලතුරු බවත්, මිනිසුන්ට වස කවා, ලෙඩ රෝග ඇතිකර ආදායම් ඉපයීමට මැනිං වෙළෙන්දන් අකමැති බවත්, මෙවැනි පියවරක් හෝ නොගන්නේනම් බෞද්ධ කමේ ඇති තේරුම කුමක්ද යනුවෙනුත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජයසුමන මහතා “අද බෝධිසත්වයන් වගේ පෙනී සිටින බොහෝ දෙනා රටක්, ජාතියක් ගැන හැගීමක් නැති තක්කඩි; බෝධි සත්වයන් හමු වන්නේ අප අපේක්ෂා නොකරන තැන්වල; මේත් ඒ වගේ පිරිසක්; මැනිං වෙළඳ පොළ කිව්වම අප බොහෝ දෙනාගේ හිතට එන්නේ හොඳ අදහසක් නොවෙයි. මගේ නම් ඒ අදහස අද සම්පුර්ණයෙන් වෙනස් වුණා. තමන්ගේ අතින් වරදක් වුනහම ඒක පිලි අරගෙන වරද නිවරද කර ගන්න බොහෝ දෙනෙක් කැමති නැහැ; එත් ඒ උතුම් ආදර්ශය අද මැනිං වෙළදපොල පළතුරු වෙළෙන්දන් දීල තියෙනවා. පරණ ක්‍රමේට හුරු වෙන්න ටික දවසක් යයි; එත් මිනිස්සු ඔබලාව හොයාගෙන එයි කෘතීම රසායන නැතිව ඉදුණු කෙසල්, අඹ, පැපොල් හොයාගෙන; මේක අමාරු වැඩක්; එත් ඒ අමාරු වැඩේ බොහොම අමාරුවෙන් ඔබල කරලා තියෙනවා; රටේ අනෙක් පලතුරු වෙළෙන්දනුත් ඔබලාව ආදර්ශයට ගනීවි. මේක ජාති ජාතිත් ඵල දෙන පුණ්‍යකර්මයක්” යනුවෙන් පැවසීය.

කොළඹ නගර සභාවේ නිලධාරීන්, මැනිං වෙළඳ පොළ පොලිස් ස්ථානාධිපතිතුමා, සමාජ ක්‍රියාකාරිකයන්, මැනිං වෙළඳ පොළ වෙළෙන්දන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


gossip lanka