gossip lanka

නුවර පාසල් නාය යාමේ අවදානමක්

මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක් පමණ නාය යෑමේ අවදානමක පවතින බවත් හදිසි අවස්ථාවකදී එම පාසල්වල ළමුන් ඉවත් කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දී ඒ පිළිබඳව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් දැනුම්දී ඇති බවත් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අයි.ඒ.කේ. රණවීර මහතා පවසයි.

ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම
සඳහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා මෙසේද කීය.

"ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අපට නිර්දේශ කර තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක් පමණ නාය යෑමේ අවදානමක පවතිනවා කියලා. ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයයි එක්ව පාසල් ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 18ක් ආවරණය වන පරිදි නාය යෑම් ස්ථාවර කිරීම කළා. නමුත් තවදුරටත් පාසල් 45ක් පමණ මෙම පස්කඳු කඩාවැටීම් සහ නාය යෑමේ අවදානම් තත්ත්වයන් පවතිනවා. මේ වනවිට එම පාසල්වලට හදිසි අවස්ථාවකදී පාසල් ළමුන් ඉවත් කිරීමට අප විසින් බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නැයි අප පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් දැනුම් දී තිබෙනවා".

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් සහ නාය යෑම්වලින් දළ වශයෙන් වසරකට නිවාස 1500ක් පමණ හානියට ලක්වෙන බවද එහිදී අවතැන් වන පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට නැවත පදිංචි කිරීම සඳහා පවුල් 1600ක් පමණ මහනුවර දිස්ත්‍රික්කයේ සිටින අතර ඒ අය එම ස්ථානවල පදිංචි වී සිටීම අවදානම් නිසා වෙනත් තැන්වල පදිංචි කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය. මෙම පුද්ගලයන් වෙනුවෙන් නිවාස වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු කරන බවද ඔහු එහිදී අවධාරණය කළේය.


gossip lanka