gossip lanka

අඟහරු හෙට පෘථිවියට ළං වෙයි

රතු ග්‍රහයා හෙවත් අඟහරු ග්‍රහයා වසර පහළොවකට පසු හෙට (31) දිනයේදී පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

හෙට (31) දිනයේදී එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් තරම් ළඟින් ගමන් කරන අතර මීට පෙර අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන් ගමන්
කර ඇත්තේ ඉකුත් 2003 වසරේදීය.

හිරු බැසගිය පසු නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන දීප්තිමත් අඟහරුද, ඊට අංශක 30ක් පමණ ඉහළින් සෙනසුරුද, අහසේ මැදට ආසන්නව බ්‍රහස්පති හා බටහිර ක්ෂිතිජයට ආසන්නව ඇති සිකුරු යන ග්‍රහලෝක පිළිවෙළින් නැගෙනහිර සිට බටහිරට විහිඳුන චමත්කාර දසුනක්ද මේ දිනවලදී දැකගත හැකිය.

අඟහරු ග්‍රහයා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරන අවස්ථාව මහජනතාවට දැකබලා ගැනීම සඳහා රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කඳවුරක් හෙට (31) රාත්‍රී 7.00 සිට 10.00 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පැවැත්වෙන බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියාසිටී.


gossip lanka