gossip lanka

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වේ

යහපාලන ආණ්ඩුවේ ඩිජිටල් විදුලි සන්දේශ යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති ධුරය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගල්ගමුව ආසන සංවිධායක තාරානාත් බස්නායක මහතා දහසය දෙනාගේ කණ්ඩායමෙන් ඉවත් වී පොහොට්ටුව පක්ෂය සමඟ එක්වී ඇත.

හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා හා එම පක්ෂයේ ප්‍රධානීන් සමඟ
පසුගිය දිනෙක පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් 'මව්බිම' කළ විමසීමකදී තාරානාත් බස්නායක මහතා මෙසේ සඳහන් කර තිබේ.

"මම ලොකු විශ්වාසයක් තියලයි මේ යහපාලන ආණ්ඩුව පක්ෂය එක්ක එකතු වුණේ. නමුත් මම හිතුව තරම් සේවයක් ජනතාව වෙනුවෙන් ඉටුකරන්න මට හැකියාවක් ලැබුණේ නෑ. ඒකට හේතුව තමා මේ යහපාලන ආණ්ඩුවේ දුර්වල ක්‍රියාකලාපය. ඒ නිසා සිද්ධ වුණේ මගේ පාක්ෂිකයන් මගෙත් එක්ක අමනාප වීම විතරයි.

ඊට පස්සෙ මම තවත් මැති අමැතිවරු පහළොස්දෙනෙක් එක්ක ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනමම දහසයේ කණ්ඩායමට එක්වුණා. නමුත් ටික දවසක් ඉද්දි මට තේරුණා ඒ කණ්ඩායම අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තිය නිසා ඉදිරියට හුඟක් අමාරු වෙනවා කියලා. ඒ නිසා මම තීරණය කළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂය සමඟ එකතු වෙන්න. ඒකාබද්ධයේ ජේ‍යෂ්ඨ නායකයන් සමඟ ගත්ත තීන්දු තීරණවලින් පස්සෙ තමා මම මේ තීරණය ගත්තෙ.

විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බොහෝ දිරදිය ඇදපු කෙනෙක්. හැම වෙලේම ඡන්ද දායකයා වෙනුවෙන් වැඩ කරන්න එතුමන් විශාල කැප කිරීමක් කළා. මටත් ඕනේ වුණේ ඒ මාර්ගයේ ගිහින් මාගේ පාක්ෂිකයා වෙනුවෙන් ලොකු සේවාවක් කරන්න.

එහෙම හිතලා තමා යහපාලන ආණ්ඩුව සමඟ එදා මම එකතු වුණේ. නමුත් ඒක සිහිනයක් පමණක් වෙද්දී තවත් යහපාලන ආණ්ඩුවේ ඉඳලා තේරුමක් නැති නිසයි මාගේ පාක්ෂිකයන් එක්ක කතා කරලා මේ තීරණය ගත්තේ. ඒ කියන්නෙ පාක්ෂිකයාගේ යහපත වෙනුවෙන් තමා මම මේ තීරණය ගත්තෙ.''


gossip lanka