gossip lanka

වැසි අඩු වෙයි ගංවතුර පහව යයි මරණ 24 ට නගී

දින කිහිපයක්‌ පුරා ඇදහැලුනු වර්ෂාපතන තත්ත්වය ඊයේ (28දා) සිට අඩු වීමත් සමඟ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ නමුත් අත්තනගලුඔයෙහි දුනමලේ ප්‍රදේශයේ ඊයේ දිනයදීත් ගංවතුර තත්ත්වය එලෙසම පැවැති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දහවල් වනවිට පවුල් 45630 කට අයත් පුද්ගලයන් 174,310 දෙනකු ගංවතුර හා නායයැම්වලින් බලපෑමට ලක්‌ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

මියගිය පුද්ගලයන් ගණන 24 දක්‌වා වැඩි වී ඇති අතර පවුල් 17975 කට අයත් පුද්ගලයන් 70,376 දෙනකු තවමත් ආරක්‌ෂිත ස්‌ථාන 265 ක රඳවා තිබේ.

වැඩිම පුද්ගලයන් පිරිසක්‌ අවතැන්ව ඇත්තේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්ය. පවුල් 12148 කට අයත් පුද්ගලයන් 47,535 ක්‌ ආරක්‌ෂිත ස්‌ථාන 158 ක රඳවා සිටිති.

ඊයේ උදැසනින් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලබුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය මිලි මීටර් 45.7 ක්‌ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිනයේදී සමස්‌තයක්‌ ලෙස වැසි රහිත වන බවත් සබරගමුව, මධ්‍යම, බස්‌නාහිර හා දකුණු පළාත්වලට වැසි වාර කිහිපයක්‌ පමණක්‌ ඇති විය හැකි බවත් පැවසේ.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයට ඇදහැලුනු මහ වැසි හමුවේ ගංවතුර ආපදාවට ලක්‌වූ ග්‍රාම නිලධාරි කොට්‌ඨාස 240 ක පවුල් 8857 ක්‌ ආපදාවට ලක්‌වී සිටින බවත් එම පුද්ගලයන් සංඛ්‍යාව 34,551 දක්‌වා ඉහළ නැඟ ඇති බව සහ සහන සැලසීමේ කටයුතු නොකඩවාම සිදු කෙරෙන බවත් රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ 'දිවයින'ට පැවසුවාය.

මේ වනවිට ගංවතුර ආපදා තත්ත්වය පහවී ගොස්‌ ඇති නමුදු නායයැමේ අවදානමක්‌ මතු වී ඇතැයිද විශේෂයෙන් පැල්මඩුල්ල, අයගම සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල ප්‍රදේශ කිහිපයකම නාය අවදානමක්‌ බල පැවැත්වෙන්නේ යෑයිද දිස්‌ත්‍රික්‌ ලේකම්වරිය පැවසුවාය.

රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, නිවිතිගල, ඇලපාත, අයගම, කලවාන, කිරිඇල්ල, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, බලන්ගොඩ, ඉඹුල්පේ සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 14 හි ග්‍රාම නිලධාරි වසම් 240 ක පවුල් 8857 ක්‌ මේ වනවිට විපතට පත් වී සිටිති. ඔවුන්ගේ සංඛ්‍යාව 34,551 කි.

ගංවතුර ආපදාවෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මරණ 02 ක්‌, පූර්ණ නිවාස හානි 08 ක්‌, අර්ධ නිවාස හානි 283 ක්‌ සිදු වී ඇත.

මේ අතර රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඇඹිලිපිටියේ ඉකුත් සමයේ නියං ආධාර ලබාදිය යුතුව තිබූ 23,093 ක ජනයාගෙන් බොහෝ පිරිසකට එම ආධාර ලබා දී ඇති බවත් සෙසු පිරිසට නියං ආධාර ගෙවීමට කටයුතු යොදා ඇති බවත් දිස්‌ත්‍රික්‌ ලේකම්වරිය පවසයි. මේ අතර ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම සේවා වසම් 19 ක පවුල් 376 ක්‌ ගංවතුරින් අවතැන්ව කඳවුරු 16 ක නවතා සිටින බව ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ආර්. ඒ. එන්. එµa. විජයසිsංහ මහතා කියයි.

අධික වර්ෂාවෙන් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට බලපෑ ජලගැලීම් හේතුවෙන් ග්‍රාම සේවා වසම් 46 ක ආපදාවන්ට ලක්‌වූ පවුල් සංඛ්‍යාව 884 දක්‌වා ඉහළ යැමෙන් පුද්ගලයන් 3153 ක්‌ පීඩාවට පත්ව ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්‌aඩාර මහතා පැවසීය.

කන්දෙපොල පවුල් 197 ක්‌. හුන්දිරාපොල 93, මාහරගම 61, වෙල්පල්ල 42, වැල්ලෑව 29, පන්විලකුඹුර 27, ඇලබඩගම බටහිර 26, නාලවලාන 23 ක්‌ ඇතුළු ග්‍රාම සේවා වසම්වලින් මෙම අවතැන්වූ පිරිස්‌ වාර්තා වී ඇති අතර පූර්ණ වශයෙන් හානි වූ නිවාස 07 ක්‌ සහ අර්ධ ලෙසින් හානි වූ නිවාස 54 කටද අලාභ හානි සිදුව ඇති බවද සඳහන් වේ. කොට්‌ඨාසයේ ප්‍රධාන හා අතුරු මාර්ග 36 ක්‌ ප්‍රතිසංස්‌කරණය කළ යුතු බවත් ජල ගැල්මෙන් ළිං 452 ක්‌ පමණ අපිරිසිදු තත්aත්වයේa ඇති බැවින්a සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ අධීක්‌ෂණය මත නාවික හමුදා භටයින්ගේ සහයෝගය ඇතිව ජලය සම්පූර්ණයෙන් බැස ගිය පසු පිරිසිදු කිරීම් කටයුතු සිදුකරන බවත් ලේකම්වරයා කීය.

දිවයින

gossip lanka