gossip lanka

බදු නිසා වාහන මිල ඩබල්වීමේ අවදානමක් - ගිහාන්

වාහනවලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අනතුරක් ඇතිව ඇතැයි වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය මහතා පවසයි.

මෙයට පෙර වාහනවලට බදු ගැනීමේදී වාහනයේ එන්ජින් ධාරිතාව මත සිදුවූ අතර පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය නිසා පියවරෙන්
පියවර බදු වැඩිවන බව ඔහු කියයි.

මෙම තත්ත්වය නැති කිරීමට නම් මිල මත පදනම් වන ආනයන බදු ක්‍රමයක් ගෙනා යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ වනවිට රටට වැඩිපුර ආනයනය කරන ජපන්, කොරියන් සහ ඉන්දියානු වාහනවල මිල ඒ රටවල වැඩිවෙමින් පවතින අතර රුපියලේ අවප්‍රමාණවීමද වාහන මිල කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.

කෙසේ වුවත් බොහෝ ආනයනකරුවන් තවමත් අලෙවි කරන්නේ පැරැණි බදු ක්‍රමය යටතේ ගෙන්වා ඇති වාහන නිසා ඒවායේ මිල වැඩිවීමක් බැලූ බැල්මට නොපෙනුණද නව බදු ක්‍රමය නිසා ඉදිරියේදී ගෙන්වන වාහන මිල අසාධාරණ ලෙස වැඩිවන බව සඳහන් වේ.

ඇතැම් ව්‍යාපාරිකයන් මිල පිළිබඳ පමණක් සලකා රටට නොගැලපෙන වාහන ගෙන්වීම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආනයනකරුවන්ද අපහසුතාවට පත්ව ති‍ෙබ්.

අද රටට ආනයනය කරන ඇතැම් ජර්මන් හා ඉංග්‍රීසි වාහන රටේ මාර්ග පද්ධතියට සහ පරිසරයට නොගැලපෙන නිසා පාරිභෝගිකයන් නොදැනුවත්කමින් අමාරුවේ වැටෙන බව ඔහු පෙන්වා දෙයි.

බොහෝ වාහනවලට අවශ්‍ය අමතර කොටස් ලබාගත නොහැකි අතර යම් අලුත්වැඩියා කිරීමක් සිදුවුවහොත් සුදුසු තාක්ෂණ ශිල්පීන් නොමැති වීමෙන් ගැටලු ඇතිවෙයි. මේ නිසා රජය වාහන ආනයනය පිළිබඳ යම් ප්‍රමිතියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බව සභාපතිවරයා පවසයි.


gossip lanka