gossip lanka

අවදානම නිසා මහනුවර ගමන් මං වෙනස් වෙයි

ගල් සහිත පස්‌ කඳු කඩා වැටීමත් අභ්‍යන්තරයේ අබලන් තත්ත්වයත් සැලකිල්ලට ගෙන මහනුවර අනිවත්ත උමඟ රථවාහන සහ මහජන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කළ බව මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා පවසයි.

රථවාහනවලට මෙන්ම පදිකයන්ටද උමං මාර්ගය අනතුරුදායක බව
නගරාධිපති කේසර සේනානායක මහතා ඊයේ (16 දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

උමඟ සම්පූර්ණ ප්‍රතිසංස්‌කරණයට පාත්‍ර විය යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරුන්ගේ උපදෙස්‌ අනුව ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ කරන බවත් නගරාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ දිනවල පවතින වර්ෂාවෙන් උමඟ ඉහළින් කඳු ප්‍රදේශයෙන් පස්‌ කණ්‌ඩියක්‌ සහිත ගල් රැසක්‌ උමඟට පිවිසෙන ස්‌ථානයට ඇදවැටී අවහිරවී ඇත.

කෙසේ වුවත් උමඟ වසා දැමීමෙන් අනිවත්ත ප්‍රදේශයේ පදිංචි විශාල ජන කොටසකට දුෂ්කරතා ඇති වී තිබේ.

උමඟ තුළින් ගමන් කර ජෝරඡ් ඊ. ද සිල්වා මාවතේදී හෝ පේරාදෙණිය පාරේදී බස්‌ රථයකට නැගීමේ පහසුව අනිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අහිමි වී ඇති අතර පදිකයන්ට මෙන්ම ත්‍රිරෝද රථ සඳහා තහනම ක්‍රියාත්මක වීමෙන් අනිවත්ත හා අවට වැසියන් හට දැඩි ගමන් අපහසුතාවක්‌ ඇති වී තිබේ.

ලංගම මහනුවර දකුණු ඩිපෝව මගින් අනිවත්ත මහනුවර බස්‌ ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමෙන් ප්‍රදේශවාසීන් මෙම දුෂ්කරතාවට පත් වී සිටියි.


gossip lanka