gossip lanka

රන් පස්සක් රේගුවේ හිරවෙයි

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 20 ක් තම සිරුරේ ගුද මාර්ගයේ සඟවා ගෙන මෙරටට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි , වයස අවුරුදු 32 සහ 24 ක් වන පුද්ගලයින් වේ.

මොවුන් සිය ව්‍යාපාරික කටයුතු සඳහා කොළඹ
දෙමටගොඩ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින බවට රේගු පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඔවුන් දෙදෙනා ඊයේ (15) සවස සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන්ගේ ගමන් විලාශය පිළිබඳව සැක සිතූ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් , ඔවුන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කරද්දි , ඔවුන්ගේ ගුද මාර්ගවල මෙම රත්තරන් බිස්කට් සඟවා ගෙන ඇති බව අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එක් අයෙකුගේ සිරුරේ රත්තරන් බිස්කට් 12 ක් සහ අනෙක් පුද්ගලයාගේ සිරුරේ රත්තරන් බිස්කට් 08 තිබූ අතර , ඒවා ග්‍රෑම් 100 බැගින් වූ බිස්කට් විය.

එහි රත්තරන් බිස්කට් 20 ක් තිබූ අතර, ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් දෙකකි.

මෙම අත් අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක , රසික සමන්ජිත් , ශ්‍රී ලාල් විජේවර්ධන , අනුප්‍රියා ගුණවර්ධන,ධනුෂ්කා අලහකෝන් , රුචිර ජයවර්ධන,අචින්ත ජයවර්ධන සහ මහේෂ් ගුණතිලක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර සහ විරාජ් විජේවර්ධන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින්  සිටියි.



gossip lanka