gossip lanka

හැඩය වෙනස් වූ ලංකා සිතියම මැයි වලදී එළියට

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති හැඩය හා ප්‍රමාණය වෙනස් කරමින් රට තුළ මෑතක සිදුවූ නව භූලක්ෂණ ඇතුළත් අංග සම්පූර්ණ සිතියම් කාණ්ඩ හැත්තෑවක් මැයි මස අවසන් වීමට පෙර එළිදැක්වීමට සූදානම් කොට ඇති බව මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා පවසයි.

මෙරට ජාතික සිතියම් කාණ්ඩය වන එකට පනස් දාහේ (1: 50000) භූලක්ෂණාත්මක සිතියම සිතියම් කාණ්ඩ 92කින් සමන්විත වන අතර එයින් 70ක් මේ
වනවිට සම්පූර්ණ වශයෙන්ම යථාවත් කර ඇති බවත් ඉතිරි කාණ්ඩ 22 මේ වසර අවසන් වනවිට යථාවත් කිරීම් අවසන් වන බවත් මිනුම්පතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ නව සිතියම් මඟින් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති හැඩය තරමක් දුරට වෙනස් ස්වරූපයක් ගන්නා බවත් රටට අයත් භූමි ප්‍රමාණයේද වෙනසක් සිදුවන බවත් මිනුම්පතිවරයා පවසයි.
නව සිතියම් ගත කිරීම අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ මායිම්වල වෙනස් වීමක් සිදුවෙන බවද කියති.

මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා මේ තොරතුරු අනාවරණය කළේ ශ්‍රී ලංකාවේ නව සිතියම එළි දැක්වීමේ සූදානම පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මිනුම්පතිවරයා මෙසේද පැවසිය.

කොළඹට අලුතින් වර්ග කිලෝමීටර් 2.69ක් !

"ලංකාවේ ප්‍රමුඛතම ජාතික සිතියම් කාණ්ඩය වන එකට පනස් දාහේ (1: 50000) භූලක්ෂණාත්මක සිතියම් කාණ්ඩය මේ වනවිට මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් යථාවත් කිරීමේ කටයුතු කරගෙන යනවා.







































මේ කාණ්ඩය සිතියම් අනූ දෙකකින් සමන්විතයි. මේ අනූදෙකෙන් සිතියම් හැත්තෑවක පමණ කටයුතු මේ වනවිට සම්පූර්ණ කරලා ඉවරයි.

විවිධ සංවර්ධන කටයුතු නිසා රට තුළ සිදුවන වෙනස්වීම්වල නවතම තොරතුරු ඇතුළත් කරලා මේ සිතියම් යථාවත් කිරීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ.

විශේෂයෙන් මොරගහකන්ද, දැදුරුඔය වගේ ජලාශ, ඒ වගේම අධිවේගී මාර්ග වැනි සංවර්ධන කටයුතු සහ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම වරාය නගරය නිසා කොළඹ දිස්ත්‍රික්කයට අලුතින් වර්ග කිලෝමීටර් 2.69ක ප්‍රමාණයක් එකතු වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ හැඩයේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සියලු වෙනස්කම් ඇතුළත් කරලා මේ වනවිට කොළඹ නගරයේ එකට පනස් දාහේ සිතියම අපි සකස් කරලා තියෙනවා.

මේ වනවිට එහි අවසන් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතිනවා. මේ මැයි මස අවසන් වීමට පෙර එම සිතියම මුද්‍රණය කරලා ප්‍රසිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

ඉන් පසුව රටේ සියලු ක්‍ෂේත්‍රවලට තමන්ගේ සැලසුම් කටයුතු, අධ්‍යාපන කටයුතු, ආපදා කළමනාකරණ කටයුතු වගේම පරිපාලන කටයුතු සඳහාත් මේ නව සිතියම භාවිතයට ගැනීමට හැකි වේවි.

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ මායිම් වෙනස් වීමක් :

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ මායිම් වෙනස් වීමක් මේ අනුව සිදුවෙනවා. ඒ සඳහා අවශ්‍ය මැනුම් කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

වරාය නගරය ඉදිකිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට අලුතින් එක්වන කොටස නීත්‍යනුකූල කිරීම සඳහා එය ගැසට් මාර්ගයෙන් ප්‍රසිද්ධ කළ යුතුයි.

ඒ අලුත් කොටසත් ඇතුළත් කරලා ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඒ නව මායිම් හඳුනාගෙන ගැසට් මාර්ගයෙන් එය ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට නියමිතව තිබෙනවා.

සමස්ත සිතියම් කාණ්ඩයම මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ අවසන් කිරීමත් සමඟ අපට පසුගිය කාලයේ ශ්‍රී ලංකා වෙරළ තීරයේ සිදුවූ වෙනස්කම් සංසන්දනාත්මකව විමසල ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා."

(මව්බිම)


gossip lanka