gossip lanka

ශ්‍රීලන්කන් එයාර් ලයින්ස්ට නියමු හිඟයක් !

ශ්‍රීලන්කන් එයාර් ලයින් සමාගමට ඉදිරියේදී ගුවන් නියමුවන්ගේ හිඟයක් ඇතිවනු ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ එහි ගුවන් නියමුවන් එම සමාගම හැරයාමට පටන්ගෙන ඇති බැවිනි.

පසුගිය දිනවල ප්‍රථම නිලධාරීන් (first officers) 08 දෙනෙකු එම සමාගම හැරගොස් ඇති බව වාර්තා වේ.

පාත්තරේට බදු ගොඩවීම

ඔවුන් බොහෝදෙනෙකු මෙසේ සමාගම හැරයාමට හේතුවී ඇත්තේ මේවන විට ශ්‍රීලන්කන් සමාගම අස්ථාවර තත්ත්වයකට පත්වීම හා උපයන විට ගෙවන බදු මුදල් වැඩි කිරීම හේතුවෙනි.

ඔවුන්ගේ වැටුප් අනුව මේවන විට සිය වැටුපෙන් 24%ක ප්‍රමාණයක් බදු ලෙස ගෙවීමට සිදුව තිබේ.

මීට පෙර ඔවුන් ගෙවනු ලැබුවේ සිය වැටුපෙන් 16%ක ප්‍රමාණයකි.

ප්‍රථම නිලධාරීන් (first officers) අවම වශයෙන් මීට පෙර මසකට රුපියල් 175,000ක පමණ මුදලක් බදු වශයෙන් ගෙවා තිබේ.

ගුවන් නියමුවකුට අතිකාල දීමනා ලබා ගැනීම වැනි අවස්ථා නොලැබෙන අතර, ඔවුන්ට මසකට පියාසර කළ හැකි ගුවන් පැය ගණන 100කි.

නියමු හිඟය ගුවන් සමාගමක අවසානයයි 

මේ සම්බන්ධයෙන් නම හෙළි නොකළ ශ්‍රී ලන්කන්හි ගුවන් නියමුවකු කියා සිටියේ යම් ගුවන් සමාගමකට ගුවන් නියමු හිඟයක් ඇතිවුවහොත් එම සමාගමේ අවසානය ඒ සමඟ උදාවන බවයි.

විශේෂයෙන් ගුවන් සමාගමක් දියුණු වන්නේ ගුවන් නියමුවන් වැඩිවන ප්‍රමාණය අනුව බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගුවන් නියමුවන්ට විදෙස් රටවල ගුවන් සමාගම්වල සේවය කිරීමට වැඩි අවස්ථාවක් හිමිවන බවත්, ප්‍රථම නිලධාරීන් (first officers) සඳහා එවැනි සමාගමක් මසකට ඇමරිකානු ඩොලර් 6,000ත් 7,000ත් අතර ප්‍රමාණයක් වැටුප් ලෙස ගෙවන බවයි.

එසේම ඔවුන්ගේ දූ දරුවන්ට වයස අවුරුදු 22ක් දක්වා පාසල් ගාස්තු ගෙවීමත්, නිවසක් හා මෝටර් රථයක් ලබාදීම සහන මිලට ගුවන් ටිකට්පත් ලබාදීම වැනි වරප්‍රසාද බොහාමයක් ලැබෙන බවයි.

මෙරට ගුවන් නියමුවන් රට හැර නොයා සිටින්නේ තම සියාසර සැසිය අවසන් කර නැවත උපන් රටට පැමිණීමේ අභිමානය හා එසේ රටට සේවය කිරීමෙන් ලැබෙන තෘප්තිය නිසා මිස මුදල් නිසා නොවන බවද ඔහු හෙළි කළේය.

ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ මිහින් ලංකා ගුවන් සේවය වසා දැමීමෙන් පසුව ශ්‍රීලන්කන් ගුවන් සේවයට එක්කරගත් ගුවන් නියමුවන් බොහෝ දෙනෙකු මේවන විට රට හැර ගොස් ඇති බවයි.

ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට කටාර් එයාර්වේස් හා වියට් ජෙට්ස් ගුවන් සේවාවල සේවය කරන බවද වාර්තා වේ.

City of Gokanna ත් ශ්‍රීලන්කන්ට සමුදෙයි !

ශ්‍රීලංකන් ගුවන්සේවය සතුව තිබූ Airbus A320-200 (4R-ABP), City of Gokanna ගුවන්යානය නියමිත කාලය එළඹීම හේතුවෙන් අදාළ ලිසිං සමාගම වෙත යළි බාරදී ඇතැයි මේ අතර වාර්තා වේ.

වසර 2012 අප්‍රේල් 13 වැනිදා මෙය ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ලබාගෙන ඇති අතර පසුගිය අප්‍රේල් 18දා එය අබුඩාබි හරහා මෝල්ටාව වෙත පියාසර ඇති බව පැවසේ.



gossip lanka