gossip lanka

ශ්‍රී ලංකාවේ කංසා වැවීමට හමුදාවේ සහය !

කංසා ඖෂධයක මට්ටමින් වගා කිරීමට අදහස් කරන අතර එය මත්ද්‍රව්‍ය ලෝලීන් අතට පත්වීම වැළැක්වීම සඳහා යුද හමුදාවත් සමඟ එක්වෙමින් එම කාර්යය සිදු කිරීමට අදහස් කරන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වූ සෞඛ්‍ය ඇමතිවරයා එලෙස වගා කරන කංසා ඖෂධ නිෂ්පාදකයන්ට සැපයීමට කටයුතු කරන අතර
අතිරික්තය විදේශ වෙළෙඳපොළෙහි අලෙවි කිරීම සිය ඉලක්කය බවත් සඳහන් කළේය.

"දැනට මතුවී පවතින අවශ්‍යතා අනුව ඉදිරි කාලය තුළ අක්කර දහසක පමණ දේශීය ඖෂධ වගා කරන ලෙස පී. හැරිසන් ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සඳහන් කළේය.

"අක්කර හාර පන්දහසක් වගා කළත් කමක් නැහැ. මොකද? අපේ රටට ගෙන්වන බටහිර ඖෂධවලින් 90% ක් පමණ රට තුළම නිපදවීමට මම ඉදිරි කාලයේ කටයුතු කරනවා. රට වෙනුවෙන් නිපදවන එම ඖෂධ සියල්ල අපි ලබා ගන්නවා. ඒ වගේම දේශීය ඖෂධ නිෂ්පාදනයටත් අපි පියවර ගත යුතුව තියෙනවා" ඇමතිවරයා සිය සැලසුම් විස්තර කළේය.

"උදාහරණයක් වශයෙන් 'කෝමාරිකා' පෙන්වන්න පුළුවන්. අක්කර දාහක් වගා කළත් 'කෝමාරිකා' මිලට ගන්න අපි සූදානම්. ඒවා ලංකාවට අවශ්‍ය තරමක් තියාගෙන අතිරික්තය පිටරටට අපනයනය කරන්න තරම් ඉල්ලුමක් තියෙනවා. කටුවැල්බටු සහ 'කෝමාරිකා' අස්වැන්න මාස හයකින් නෙලා ගන්න පුළුවන්"

"ඒත් අපි තාමත් කටුවැල්බටු ගේන්නේ පිටරටින්" ඇමතිවරයා පවසයි.

"එම ඖෂධ වර්ග වැවීමත් පහසුයි, ඉබේම පැතිරිලා යනවා"


 "තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් බොහෝ ඖෂධ ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ශ්‍රී ලංකාව 90% ක් විතර ඖෂධ ආනයනය කරන්නේ ඉන්දියාවෙන්." සෞඛ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.

"දේශීය වෙදකමේ දී පාවිච්චි කරන තවත් ඖෂධයක් කංසා. කංසා මත් ද්‍රව්‍යයක් හැටියට නොව තේ බීම වගේ පානයක් හැටියට පාවිච්චි කළොත් ශරීරයට හානියක් නැහැ. නමුත් කංසා හිඟය නිසා පසුගිය කාලයේ ඇතැම් ඖෂධ වර්ග නිපදවීමත් නතර වී තිබුණා"

එවැනි පසුබිමක් යටතේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට ඉන්දියාවෙන් කංසා ගෙන්වීමට සිදු වූ බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.


 එපරිද්දෙන් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා අමතර අතිරික්තයක් ඇත්නම් ඒවා අපනයනය කළ හැකි බවත් ඇමතිවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

"බටහිර ඖෂධ නිෂ්පාදනයේ දීත් බොහෝ නිදන්ගත ස්නායු රෝගවලට ඖෂධ නිපදවීමේ දී කංසා පැළෑටිය පාවිච්චි කරනවා. ඒ නිසා කංසාවලට ලෝකයේ හොඳ වෙළෙඳපොළක් තියෙනවා. ඒ නිසා ව්‍යාපාරයක් හැටියට යුද හමුදාවත් සම්බන්ධ කර ගනිමින් කළොත් අපට එම නිෂ්පාදන විදේශීය ඖෂධ සමාගම්වලට අලෙවි කරන්න පුළුවන්"

"බටහිර රටවල් මුහුණ ආදී ඇති ප්‍රශ්නය ඔවුන්ගේ රටවල පවතින ශීතල දේශගුණය නිසා කංසා වැනි පැළෑටි සාර්ථකව වගාකර ගැනීමට නොහැකි වීම" වන බවත් ඇමතිවරයා පවසයි.

කංසා ශ්‍රී ලංකාව තුළ තහනම් පැළෑටියක් නොවන අතර තහනම බල පැවැත්වෙන්නේ අනවසර වගා කිරීම සහ මත්ද්‍රව්‍යයක් ලෙස පාවිච්චිය සම්බන්ධයෙන් බවත් ඔහු පෙන්වා දෙයි.

 විදෙස් කංසා පිළිවෙත

 ඖෂධමය කංසා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි.


 කැනඩාව සහ නෙදර්ලන්තය අනුව යමින් දේශීය වෙළෙඳ පොළෙන් ඔබ්බට ගංජා විකිණීමේ පරිසරය නිර්මාණය කර ගැනීමට දැනට පවතින රෙගුලාසි වෙනස් කර ගැනීම ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ සැලැස්ම වෙයි.

එවැනි සැලැස්මක් උරුගුවේ සහ ඊශ්‍රායලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

තමන් අනුගමනය කිරීමට යන ක්‍රියාමාර්ගය විදේශිකයන්ට පමණක් නොව දේශීය රෝගීන්ටත් පලදායී වනු ඇතැයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසයි.

ඔස්ට්‍රේලියාව ඖෂධයක් මට්ටමින් කංසා පාවිච්චිය 2016 වසරේ පටන් නීතිගත කරනු ලැබ ඇත.

එහෙත් දැනට ඔස්ට්‍රේලියාවේ පවතින නීතිය අනුව මත් ද්‍රව්‍යයක් ලෙස කංසා පාවිච්චිය තවමත් නීති විරෝධී වෙයි.


කංසා වේදනා නාශක ඖෂධ නිපදවීමට උපයෝගී කර ගනු ලැබෙයි

(බීබීසී)




gossip lanka