gossip lanka

අල්ලස් හෝ දූෂණ පනතට අලුත් නීති !

තම හිතවතුන් සහ ඥාතීන් වෙනුවෙන් තම රාජකාරී බලය පාව්චිචි කර විවිධ අන්දමින් වරප්‍රසාද ලබා ගැනීමට හෝ කිසියම් තැනැත්තෙකු නීතිය ඉදිරියේ වරදකරුවකුවීම වැළැක්වීම සදහා චේතනාන්විතවම කටයුතු කරන නිළධාරීන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකි වන පරිදී අල්ලස් හෝ දූෂණ පනත සංශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙරට අල්ලස් ගැනීම හෝ දූෂණ ක්‍රියා සිදු කරන්නේ
මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් යම් කෙනෙකුට අත්කර දීම සදහාම නොවීම මේ තීන්දුවට ප්‍රධාන හේතුවක් වී තිබේ.

නව නීතිවලින් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ නොලැබුනත් දූෂිත ගණුදෙනුවක නිරත වූ තැනැත්තකු ආරක්ෂා කරදීම සදහා සත්‍ය කරුණු වසන් කරමින් ලේඛණ සකස් කිරීම, පරීක්ෂණ නොමග යැවීමේ අදහසින් කරුණු විකෘති කිරීම, පරික්ෂණ පිළිබද රාජකාරීමය වගකීම් හිතාමතා පැහැර හරිමින් හෝ පරික්ෂණ ප්‍රතිපල පිළිබද වාර්තා නිසි කලට නිකුත් කරලීම අවහිර කිරීම පිණිස ක්‍රියාකරමින් දූෂිතයන් ආරක්ෂා කිරීම සදහා ක්‍රියා කරන අය කොටුකරගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව නීතිය බලාත්මක කරන ආයතන ද විමර්ශන කටයුතු පිළිබද වගකීම් සහිත වෙනත් රාජ්‍ය ආයතන නිළධාරීන් ද යෝජිත නව නීතියට යටත් වේ.

කිසියම් විමර්ශනයක් සිදු කිරීමේ දී එම විමර්ශණයට අදාල කිසියම් පාර්ශවයක් සමග කිසියම් ආකාරයක හිතවත්කමක් හෝ ඥාතිත්වයක් තිබීම හේතුවෙන් කිසියම් විමර්ශණ නිළධාරියකු විසින් එකී ඥාතියාට හෝ හිතවතාට අයුතු අලාභයක් සිදු කිරීමට කටයුතු කර ඇත්නම් හෝ එසේත් නැත්නම් කිසියම් ආයතනයකට හෝ පොදු මහජනතාවට හෝ අතිවිශාල අලාභයක් අත්කරදීමට හේතු වන ක්‍රියාවක් කර ඇත්නම් එවැනි කවර නිලධාරියකු වුවද යෝජිත නීතිය යටතේ අපරාධමය වගකීමට ලක්වේ.

බොහෝ දියුණු රටවල මෙම නීතිය පැවතුනත් ශ්‍රී ලංකාවේ මේ දක්වා එවැනි නීතියක් නොතිබීමෙන් මහා පරිමාණ වංචා සහ දූෂණ ක්‍රියා අති විශාල ගණනක් යටපත් කර ගැනීමට එවැනි දූෂිත ක්‍රියාවල නිරත වූවන් ට හැකි ව ඇති බව දූෂණ විරෝධීන්ගේ මතය වී තිබේ.

එවැනි දූෂණ ක්‍රියාවලට විවිධ ආකාරයෙන් අනුබල දුන් හෝ අනුග්‍රහය දක්වන ලද නිලධාරීන් පිළිබදව දෙපාර්තුමේන්තු මට්ටමින් යම් යම් අවස්ථාවන් හී පරික්ෂණ කෙරුණ ද එම පරීක්ෂණ දෙපාර්තමේන්තු මටටමින්ම අවසන්වීමේ සිද්ධිද ඇතැයි පැවසේ.

නව නීති UNCAC ට අනුකූලවයි - නෙවිල් ගුරුගේ

මෙම යෝජිත නව නීති සම්පාදනය කිරීම දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (United Nations Convention against Corruption - UNCAC) දක්වා ඇති විධිවිධානයන්ට අනුකූලව සිදු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ප්‍රකාශ කර කියා සිටියේය.

මෙම යෝජිත නව නීතිය ශ්‍රී ලාංකික සමාජය පුරා විහිදී ගොස් ඇති අල්ලස සහ දූෂණය පිටු දැකීම පිණිස ගනු ලැබූ ඉතා වැදගත් ඉදිරි පියවරක් බවද ඒ මහතා කියා සිටියේය.




gossip lanka