gossip lanka

ගාල්ල විදුහල්පතිනියගේ මරණයට සම්බන්ධ 11 ක් ගැන තීරණයක්

නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර සිදු වූ අනතුරකින් විදුහල්පතිනියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරින් 11 දෙනෙකුට විනයානුකූල ක්‍රියාමාර්ග ගැනිමට නිර්දේශ කර තිබේ.

එම නිළධාරින් අතරින් දෙදෙනෙකු අදාළ තනතුරුවලින් ඉවත් කිරිමට ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුව නිර්දේශ කර ඇති බව
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ පුහුණුව ලබාදීමේ වැඩසටහනක් අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය 17 වනදා ජීවිතක්ෂයට පත්විය.

රාජකාරී පුහුණුවක් අතරතුර නිලධාරියෙකු අනතුරට පත් වීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව ඊයේ (28) දිනයේ අමාත්‍යවරයා වෙත බාරදුන් අතර එම විමර්ශනයට අදාළ සියලු නිර්දේශයන් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව,ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා ස්වයං විනය, ආයතනික විනය සහ නායකත්ව පිළිබඳ බැහැරගත පුහුණු වැඩසටහනට අදාළව, පුහුණුව සැලසුම් කිරිමේ සිට, මිළ ගණන් කැඳවීම, ආයතන තෝරා ගැනිම සහ සංවිධානය කිරීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව,අනවධානයෙන් සහ නොසැලකිලිමත් ලෙස තම රාජකාරි වගකීම් පැහැර හරිමින් ක්‍රියා කළ බවට සනාථ වී ඇති පහත සඳහන් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

1) මානව සම්පත් සංවර්ධන අංශය භාර අතිරේක ලේකම් (පාසල් කටයුතු),
2) මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ
3) මානව සම්පත් සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
4) ප්‍රසම්පාදන අංශය භාර අතිරේක ලේකම්
5) ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරීවරිය
6) තාක්ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන්
7) ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්

මේ අතරින්,මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු දැරූ නිලධාරීන් එම තනතුරු වලින් වහාම ඉවත් කිරීමටද නිර්දේශ වී තිබේ.

එමෙන්ම,එම පුහුණු වැඩසටහන සංවිධානය කළ අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවේ වගකීම්, අදාළ අංශය භාරව කටයුතු කළ අතිරේක ලේකම්වරයාගේ (පාසල් කටයුතු) විෂය පථයෙන් වහා ඉවත් කිරීමටද අදාළ විමර්ශනය මගින් නිර්දේශ කර තිබේ.

මීට අමතරව ,නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකළ අදාළ බැහැරගත පුහුණු වැඩමුළුව පවත්වන ලද Sri Lanka Outdoor Adventure School ආයතනය අසාදු ලේඛන ගත කිරීමටද (Black list) නිර්දේශ කර තිබේ.

එමෙන්ම,මෙම අවාසනාවන්ත සිදුවීමෙන් දිවි අහිමි වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පති රේණුකා කුමාරි අතපත්තු මහත්මියගේ සැමියාට හා දරුවන්ට වන්දි මුදලක් ලබා දීමට සහ ඇයට හිමි වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්,මෙන්ම දරුවන් සඳහා හිමිවන රක්ෂණාවරණ ප්‍රතිලාභ ද කඩිනමින් සකස් කර දීමටද පියවර ගැනෙනු ඇත.

එමෙන්ම මෙවැනි සිදුවීම් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්ති නාමය සහ ජනතා විශ්වාස පළුදු වී යන බැවින් නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීම සඳහා වගකිව යුත්තන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

gossip lanka