ශ්‍රී ලංකා එක්‌දින ක්‍රිකට් කණ්‌ඩායමේ නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගෙන් එක් අයකු හෙට (04 දා) පත්කිරීමට යෝජිතව ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ සංචාරය සඳහා කණ්‌ඩායම නම් කිරීමට පෙර නායකයා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබීම මත මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ. ඇන්ජලෝ මැතිව්ස් මේ දිනවල පාදයේ ආබාධයකට ලක්‌ව සිටින අතර
ඔහුගේ තත්ත්වය දැන් සුව අතට පත්වෙමින් තිබේ. අදාළ ආබාධයෙන් පසුව මැතිව්ස් ඊයේ දිවීම ආරම්භ කර නමුත් කණ්‌ඩායම සමඟ තවමත් පුහුණුවීම් ආරම්භ කර නොමැත. කණ්‌ඩායම් භෞතචිකිත්සකවරයා පවසන පරිදි මැතිව්ස්‌ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔහුට බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි බවත් තේරීම් කමිටුවට දන්වා තිබේ. ඒ අනූව ලබන 7 වැනිදා හෝ 8 වැනිදා මැතිව්ස්‌ට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වන අතර එම පරීක්‍ෂණයෙන් අනතුරුව මැතිව්ස් බංග්ලාදේශ සංචාරයට සහභාගි වීම තීරණය කිරීමට නියමිතය. මැතිව්ස්‌ගේ තත්ත්වය වැට උඩ තිබියදී 23 දෙනාගේ සංචිතයේ නොසිටි ධනංජය ද සිල්වාවද එම සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.
2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් ස්‌ථිර නායකයකු බංග්ලාදේශ සංචාරයේ සිටම පත්කිරීමේ වැදගත්කම නව පුහුණුකරුවා සහ තේරීම් කමිටුව අතර සාකච්ඡා වී ඇති අතර ඒ අනූව නායකත්වය මැතිව්ස්‌ටත් උපනායකත්වය දිනේෂ් චන්දිමාල්ටත් ලබාදීමට යෝජනා වී තිබේ. මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශ තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ව නායකත්වයට පත්කිරීමටත් අනතුරුව මැතිව්ස්‌ට යළිත් නායකත්වය ලබාදීමටත් සාකච්ඡාවට බඳුන් වී තිබේ.
කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් ටෙස්‌ට් තරගවල නායකත්වය හොඳින් ප්‍රගුණ කරමින් සිටින මොහොතක එක්‌දින නායකත්වයේ පීඩනය ඔහුගේ කරේ එල්ලීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මැලිකමක් දක්‌වන බවටද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. තේරීම් කමිටුවද මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවත්වමින් සිටින අතර මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වය සුව වුවහොත් බොහෝ දුරට ඔහුට නායකත්වය ලබාදීමට බහතුර සාකච්ඡා වී ඇතැයිද වාර්තා වේ.
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්‌දින තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය පස්‌වැනිදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් ඊයේ (02 දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නම් කරන ලද ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් දෙකට බෙදා පුහුණු තරගයක් පැවැත්වූ අතර එම තරගයේ ප්‍රතිඵලද තේරීම්වල සාධකයක් වේ.
ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ එක්‌දින නායකයා හෙට තෝරයි.
2018-01-03T09:08:00+05:30
Gossip Lanka Hot News
slide|