gossip lanka

හොඳටම වෙරිවෙලා සිය දිවි හානි කරගන්න අමතක වෙලා

සිය බිරිය සමඟ අමනාප වී සිය දිවි හානි කර ගැනීම සඳහා ගිය පුද්ගලයකු පසුව බිරිය සමඟ පොලිසියට පැමිණ තමන්ගේ අතුරුදන් වූ මුදල් පසුම්බිය, හැඳුනුම්පත, වස කුප්පිය හා ගෙල වැලලා ගැනීමට රැගෙන ආ කඹය රැගෙන පොලිසියෙන් පිටව යෑමේ අපූරු සිද්ධියක් දඹුල්ලෙන් වාර්තා වේ. දඹුල්ල පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දඹුල්ල ප්‍රජා පොලිස් ඒකකය සම්බන්ධ වී පැල්වෙහෙර ප්‍රදේශයේ ශ්‍රමදානයක් සංවිධානය කර තිබිණි.
එහිදී වන ළැහැබක් සුද්ද පවිත්‍ර කිරීම් කරන අතරේ පුද්ගලයකුගේ මුදල් පසුම්බියක්, හැඳුනුම්පතක්, වසබෝතලයක් හා ගෙල වැලලා ගැනීම සඳහා සූදානම් කර තිබූ ලණුවක් ප්‍රදේශවාසීන්ට හමු වී පොලිසියට භාර දී තිබිණි.


පසුව දඹුල්ල පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව ශ්‍රමදානය පසෙකදා කිසියම් පුද්ගලයකු සියදිවි හානිකරගෙන හෝ යම් කිසි කරදරයකට මුහුණ පා ඇතැයි සැක සිතී ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතත් කිසිදු සැකකටයුතු දෙයක් හමු වී නැත.

හැඳුනුම්පතේ තිබු ලිපිනයට අනුව එය දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පදිංචි අයකු බව අනාවරණය වීමෙන් පසු එම පුද්ගලයා සෙවීම සඳහා පොලිස් නිලධාරියකු ඔහුගේ නිවෙසට යවා තිබේ. එහෙත් ඔහු කණ්ඩලම ප්‍රදේශයේ නොව මැල්සිරිපුර ප්‍රදේශයෙන් විවාහ වී සිටින බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.

ඒ අනුව පොලිසිය මැල්සිරිපුර ප්‍රදේශයට ගොස් ඔහු පදිංචි ස්ථානය සොයාගෙන එම පුද්ගලයාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. ඔහු සිය බිරිය සමඟ දඹුල්ල පොලිසියට පසුගියදා පැමිණ තිබිණි.

ඔහුගේ මුදල් පසුම්බිය, වස බෝතලය මෙන්ම ගෙල වැලලා ගැනීම සඳහා යොදාගෙන තිබූ ලණුව පිළිබඳව පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා ඇත්තේ තම බිරිය සමඟ අමනාප වී සියදිවි හානි කර ගැනීම සඳහා දඹුල්ල නගරයට පැමිණ වස බෝතලයක්ද ලණු කැබැල්ලක් ද රැගෙන මත්පැන් පානය කොට වන ළැහැබකට ගිය බවය.

එහෙත් තමන් හොඳටම මත්වී සිටි නිසා සියදිවි හානිකර ගැනීමට ගිය කාරණය අමතක වූ බව ඔහු පොලිසියට පවසා තිබේ. 'සූර්' එක බැසගිය පසු තමන් රැගෙන ගිය බඩු භාණ්ඩ පවා අමතක වී නැවතත් අලුයම් කාලයේ නිවෙසට පැමිණි බවත් හෙතෙම වැඩිදුරටත් පොලිසියේදී කියා තිබේ. ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත්තේ ඔහුගේ මුදල් පසුම්බියත් හැ¼දනුම්පත් අතරමඟදී වැටී ඇති බව සැමියා ප්‍රකාශ කළ බවයි. සැමියා සිය දිවි හානි කරගැනීමට ගිය බවක් තමන් නොදැන සිටි බවද කියා ඇත.

පසුව දෙදෙනාටම අවවාද කොට මිනිස් ජීවිතයක ඇති වටිනාකම පහදා දී දරුවන් වෙනුවෙන් රට වෙනුවෙන් ජීවත්වීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් මෙම දෙදෙනාටම අවබෝධ කර දුන් පොලිස් නිලධාරීන් විවාහ ජීවිතයේදී ඇති වෙන ප්‍රශ්න පිළිබඳව මීට වඩා ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු බවට අවවාද කොට ඔවුන් රැගෙන විත් තිබූ හැඳුනුම්පත, මුදල් පසුම්බිය නැවත ලබාදී පිටත් කර තිබේ.


gossip lanka