gossip lanka

බැසිල්ට එරෙහි දිවි නැගුම නඩුවේ සාක්‍ෂි විභාගය දිගටම

පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991 ක්‌ වැයකර දිවි නැගුම සහනාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමේදී මුදල් අවභාවිතය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය විත්තියේ
විරුද්ධත්වය ප්‍රතික්‍ෂේප කරමින් ඊයේ (08) දිනයේදීම ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් කැඳවා එම නඩුවේ සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට සිය අධිකරණය විශේෂයෙන් දින නියම කර ඇති බැවින් විත්තියේ ඉල්ලීම පරිදි එලෙස නඩු විභාගය කල් දැමීමට තම අධිකරණයට හැකියාවක්‌ නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ආරම්භ කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාට නියෝග කළේය.

2014 වාර්ෂික අයවැය වාර්තාව හා අයවැය ඇස්‌තමේන්තුව ඇතුළු පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කර ඇති ලේඛන හා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් කිහිප දෙනකුගේ සාක්‍ෂි පිටපත් විත්තියට ලැබී නොමැති බැවින් නඩු විභාගය ඊයේ ආරම්භ නොකරන ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එලෙස අවශ්‍ය ලේඛන ලබා නොදී සාක්‍ෂි විභාගය ආරම්භ කිරීම මගින් විත්තියට අගතියක්‌ සිදුවිය හැකි බවද විත්තියේ නීතිඥවරුන් එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර එම ලේඛන ඉදිරි දින කිහිපය ඇතුළත ලබාදීමේ හැකියාව පවතින බැවින් සාක්‍ෂි විභාගය ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සෙවිලි තහඩු බෙදු මුදල් සහනාධාර ලාභීන් ගෙන් !

පසුගිය ජනාධිපතිවරණය සමයේ අඩු ආදායම්ලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමට රුපියල් මිලියන දෙදහස් නවසිය අනූ එකක මුදලක් ලබාගෙන ඇත්තේ දිවි නැඟුම සහනාධාරලාභීන්ගේ ඉතුරුම් ගිණුම්වලින් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැවසීය.

අධිකරණයට පැමිණ සිටි පැමිණිල්ලේ සියලු සාක්‍ෂිකරුවන් අධිකරණ ශාලාවෙන් පිටතට යවා පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් දේශනය ආරම්භ කරමින් කරුණු දැක්‌වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පදිංචි 14 ලක්‍ෂයක්‌ පමණ වූ සමෘද්ධි සහනාධාරලාභීන්ට ඔවුන් පදිංචි නිවාස සංවර්ධනය කර ගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට පළමුවන විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා තීරණය කර ඇති බවයි.

මුදල් අවභාවිතය කිරීම:

දෙපාර්තමේන්තු 2014 වාර්ෂික අයවැය යෝජනාවලියට පරිබාහිරව එම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ සඳහා ලබාගෙන ඇත්තේ දිවි නැඟුම සහනාධාරලාභීන් තමන්ට ලැබුණ සහනාධාර මුදලින් මාසිකව තැන්පත් කළ අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුම්වල තිබූ මුදල් බවද පෙන්වා දුන්නේය.

එකී ක්‍රියා කලාපය මගින් විත්තිකරුවන් අධිචෝදනාවේ සඳහන් මුදල් අවභාවිතය කිරීම හා සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩකර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවැසීය.

නඩුවේ වැඩිදුරටත් විභාගය මෙම මස 22 වැනිදාට කල් තැබුණි.


gossip lanka