gossip lanka

ළමා ජනගහනය අඩුවී වැඩිහිටි ජනගහනය ඉහළට

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනගහනය වසර 2037 වනවිට විසි ලක්‍ෂයකින් පමණ එනම් සියයට 7.5 කින් වැඩිවන බව එක්‌සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් පසුගියදා එළිදැක්‌වූ නවතම වාර්තාවක දැක්‌වේ.

ඒ අනුව වසර 2037 වනවිට දැනට ලක්‍ෂ 25 ක්‌ වන වයස අවුරුදු 60 ට වැඩි
වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ජනගහනයෙන් 1/5 ක්‌ දක්‌වා වර්ධනය වනු ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දියුණු සෞඛ්‍ය පහසුකම් ආයු අපේක්‌ෂාව ඉහළ යැම මාතෘ මරණ, ළදරු මරණ අනුපාතිකයන් අඩුවීම වැනි හේතූන් මත දකුණු ආසියාවේ සෙසු රටවලට වඩා වේගයෙන් ජනගහණය වියපත් වන බව අනාවරණය වී තිබේ.

වසර 2012 දී පවත්වනු ලැබූ ජන හා නිවාස සංගණනයකට අනුව මෙරට පිරිමින්ගේ ආයු අපේක්‌ෂාව වයස අවුරුදු 72 ක්‌ද, ගැහැණුන්ගේ ආයු අපේක්‌ෂාව 79 ක්‌ ද වන අතර මෙරට වැඩිහිටි ජනගහනයෙන් බහුතරය බවට මේ වනවිට පත්ව ඇත්තේ කාන්තාවන් බවද මේ අනුව හෙළිවී තිබේ.

එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කළ සංගණනයකට අනුව මෙම වසර වනවිට රටේ වැඩිහිටි ජනගහනය තිස්‌එක්‌ ලක්‌ෂ තිස්‌දහස්‌ හත්සිය හතළිහකි. මොවුන් වයස අවුරුදු 60ට වැඩි
වැඩිහිටියන්ය. එය මෙරට මුළු ජනගහනයෙන් සියයට 14.6 කි. එම ජනගහනය වසර 2037 වනවිට පනස්‌ එක්‌ලක්‌ෂ දහ අට දහස්‌ අනූහතරක්‌ දක්‌වා එනම් මුළු ජනගහනයෙන් සියයට
22.1 ක්‌ දක්‌වා ද වසර 2050 වන විට මෙම ප්‍රතිශතය සියයට 29.4කින් ද වර්ධනය වීමට නියමිතය.

එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රිට්‌සු නැකෙන් මහත්මියට අනුව වඩා හොඳ පෝෂණය, සනීපාරක්‌ෂාව, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය හා යහපැවැත්ම යන කරුණු මත ජනතාව වැඩි කලක්‌ ජීවත්වෙති. ශ්‍රී ලංකාවේ මෙම පහසුකම් කෙතරම්ද යන්න මෙරට වැඩිහිටි ජනගහනය වර්ධනය වන අයුරින් පෙනී යන අතර වසර 2037 වන විට මෙරට අවුරුදු 60 ට වැඩි වැඩිහටි ජනගහනයෙහි සිදුවන වැඩිවීම වසර 25 ක කාලයක්‌ තුළ මෙරට වැඩිහිටි ජනගහනය සියයට 103 කින් වැඩි වීමක්‌ වීම මෙය සනාථ කරවයි.

සංඛ්‍යාලේඛනවලට අනුව වයස අවුරුදු 15 ට අඩු මෙරට ළමා ජනගහනය මින් ඉදිරියට ක්‍රමයෙන් අඩුවී ගොස්‌ වසර 2032 න් පසු වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයට වඩා අඩුවීමේ ප්‍රවණතාවයක්‌ පවති. මේ අනුව වසර 2032 න් පසු අප රටේ ජනගහනයෙන් වැඩි කොටසක්‌ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් සමන්විත වනු ඇත.

 - දිවයින


gossip lanka