දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී ඊයේ (06) වෑන් රථයක් තවත් මෝටර් රථයක් ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී පාරේ ගමන් කරමින් සිටි 11 හැවිරිදි කුඩා දැරියක් යටවී මියගොස් ඇතිබව හබරණ පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේම පදිංචි ශෂිනි මදුවන්ති කුමාරි (11) දැරියයි.
මව අහිමි මේ කුඩා දැරිය සිය මිත්තනිය හා සීයා ලග ජිවත් වන බව පැවසෙන අතර ඇයගේ සීය සිද්ධිය වූ
ස්ථානයට ආසන්නයේ කුඩා පළතුරු මැස්සක් දමාගෙන සිටින බව පැවසේ.
මියගිය දැරිය සවසට එම පලතුරු මැස්සට පැමිණෙන්නේ ඒ ආසන්නයේ පිහිටි ආප්ප කඩෙන් ආප්ප කෑමට බවද වාර්තා වේ.
සුපුරුදු පරිදි දියණිය ආප්ප හයක් මිලදී ගෙන මාර්ගයේ පලතුරු මැස්ස දෙසට පැමිණෙමින් සිටියදී මේ අනතුර සිදුව තිබේ.
දැරිය රැගෙන ආ ආප්ප රාත්‍රී වනවිටත් මහපාරේ වාහන වලට යටවෙමින් තිබෙනු දැක ගත හැකිවිණි.
අනතුර පිලිබඳව පරීක්ෂණ කරන හබරණ පොලිසිය කියා සිටියේ කන්තලේ සිට ගුවන්තොටුපලට ගමන් කරමින් තිබු වැන් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.
වැන් රථය අධික වේගයෙන් ධාවනය කොට ඉතාම අනාරක්ෂිත ලෙස තවත් මෝටර් රථයකට ඉස්සර කිරීමට ගොස් මේ අනතුර සිදුකර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
වැන් රථයේ හැපුණු දැරිය එම ස්ථානයේ සිට මීටර් 27 ක දුරකට විසිවී වැටි සිටි බවද පැවසේ.
අනතුරත් සමඟ ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසීන් පාලනය කොට පොලිසිය රියදුරාත් වෑන් රථයත් පොලිස් භාරයට ගෙන ඇති බවද වාර්තා වේ.
-කාංචන කුමාර ආරියදාස
වෑන්මරුවා ආප්ප කන්න ආ දැරියගේ ජීවිතය උදුරගනියි !
2017-08-07T09:03:00+05:30
Gossip Lanka Hot News








