gossip lanka

දකුණේ කුණු ඇදිල්ල ඇමරිකාව බාරගනියි

දකුණු පළාතේ කැළි කසල ප්‍රශ්නයට හරිතකරණ සංකල්පය මත විසඳුමක් ලබාදීමට ඇමරිකානු ග්‍රීන් කී සමාගම ඉදිරිපත්ව තිබේ.

මේ ව්‍යාපෘතිය ආදර්ශවත් ව්‍යාපෘතියක් ලෙස මුලින්ම දකුණු පළාත් සභාවෙන් ආරම්භ කෙරෙන අතර අදාළ ව්‍යාපෘතියෙන් දිනකට නාගරික ඝන අපද්‍රව්‍ය ටොන් 1000 ක් පරිභෝජනය කිරීමේ පහසුකම් ඇති බව පැවසේ.

එමෙන්ම වර්තමානයේ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා මුදල් ගෙවිය යුතු වුවත් ග්‍රීන් කී ආයතනය මෙම ව්‍යාපෘතිය
ක්‍රියාත්මක කිරීමත් සමග දකුණු පළාතේ ස්ථාපිත නගර සභා 04 ට සහ ප්‍රාදේශීය සභා 47 ට අයත් සියලූම අපද්‍රව්‍ය එම ආයතනවලට මුදල් ගෙවා ලබා ගැනීම සිදු කිරීමට නියමිතය.

"දකුණ හරිතකරණයට හා කුණු කසළ ප්‍රතිචක්‍රියකරණයට"  යන තේමාව යටතේ  ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සම්බන්ධව පසුගියදා  ග්‍රීන් කී ආයතනයේ නියෝජිතයින්  පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද  හමුවී සාකච්ඡා කර තිබේ.

ග්‍රීන් කී  වතගොත

ඇමෙරිකානු ග්‍රීන් කී  ආයතනය, නගර සභා සඳහා නව්‍ය නිෂ්පාදන පහසුකම් සහ ව්‍යාපාරික හරිත තාක්ෂණ ක්‍රමවේදයන් සපයන්නකි.

එසේම රාජ්‍ය නියෝජිත ආයතන සහ අනෙකුත් ආයතන සමග එක්ව ව්‍යාපාරික කටයුතුවල නියැලෙන ආයතනයකි.

ග්‍රීන් කී ආයතනය සහ ඊට අනුබද්ධිත වෘත්තිකයින් විසින් හරිත නිෂ්පාදන නවීන තාක්ෂණ පහසුකම් භාවිත කරමින් පොදු ස්ථානයන්හි එක් රැස්වන කුණු කසළ වටිනා පාරිභෝගික භාණ්ඩ බවට පරිවර්තනය කිරීම මෙමෙ ව්‍යාපෘතිය යටතේ සිදුකරයි.

ඒ අනුව සංයුක්ත දැව,  ගොඩනැගිලි අමුද්‍රව්‍ය, කෘත්‍රිම ඉන්ධන හා විද්‍යුත් ශක්තිය නිපදවීමට  සැලසුම් කොට ඇත.

ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය

මෙහි ප්‍රතිචක්‍රීය කරණ වැඩසටහන යටතේ පළමුව ලෝහ වර්ග සහ වීදුරු ඉවත් කරයි.

ඉන්පසු ප්ලාස්ටික්, කඩදාසි, කාඞ් බෝඞ්, දැව සහ අනෙකුත් කාබනික අමුද්‍රව්‍ය සියල්ල වියළා ක්‍රියාවලිය සඳහා සූදානම් කරනු ලැබේ.

ප්ලාස්ටික් කුඩා ගුලි ලෙස සකස් කරනු ලබන අතර දැව, කඩදාසි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය කුඩා තීරුවලට කැපීම හෝ සෙ. මී.  1 සිට සෙ. මී.  2 දක්වා කුඩා කැබලිවලට කොටස් කිරීම සිදු කරනු ලබයි.

පසුව පද්ධතියට ඇතුළත් කිරීම සඳහා එම ප්ලාස්ටික් ගුලි සහ තන්තුමය කාබනික අමුද්‍රව්‍ය නිසි ලෙස මැනීමත් මිශ්‍රකිරීමත් සිදු කරයි. අවසන් නිෂ්පාදිතය ඝනත්වය සහ බර අතින් ඉතා ශක්තිමත් දැව වලට බොහෝ සෙයින් සමාන වේ.

මේ සදහා අමතර එකතුකිරීම් හෝ රසායනික ඇලවුම් ද්‍රව්‍ය හෝ යොදා ගැනීම අවශ්‍ය නොවීමද විශේෂිතය.

සියලූම රසායනික අමුද්‍රව්‍ය ප්ලාස්ටික් මගින් සංක්ෂිප්ත කරන බැවින් අවසාන නිෂ්පාදිතය ආසන්න වශයෙන් වසර 150ක් දක්වා දිරාපත් නොවී, කෘමීන්ගෙන් හානි නොවී පවතිනු ඇත.

ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා

මේ තුළින්  ආසන්න වශයෙන් ස්ථිර රැකියා 796  සහ වක්‍රරැකියා 500 කට අධික ප්‍රමාණයක් සහ යන්ත්‍රෝපකරණ සහ පද්ධතිය ස්ථාපනය කරනුලබන පළමු මාස 12-18 තුළ සෘජු රැකියා 287 ක් සහ වක්‍රරැකියා 214 ක් දේශීය වශයෙන් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා  මහතාගේ  මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන මෙකී ව්‍යාපෘතිය සදහා දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ සහයෝගය හිමිව තිබේ.

තවද මෙහි සම්බන්ධිකරණ කටයුතු  දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  අජිත් රාජපක්ෂ මහතා විසින්  සිදුකරනු ලබයි.

gossip lanka