gossip lanka

එල්.ටී.ටී.ඊ. නායකයෙක් වෙනුවෙන් උතුරේ සැමරුම් පිළිමයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් උපවාස කොට ජිවිතක්ෂයට පත්වු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකු වු ආර්.ප‍්‍රදීපත් හෙවත් අමිර්තලිංගම් දිලීපන් වෙනුවෙන් සැමරුම් පිළිමයක් සකස් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගනු ලැබ තිබෙනවා.

උතුරේ ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවිදුන් එල්.ටී.ටී.ඊ.
සංවිධානයේ නායකයෙකු වන දිලීපන් වෙනුවෙන් යාපනය නල්ලුර් ප‍්‍රදේශයේ ඔහු මියගිය ස්ථානයේ සැමරුම් ස්මාරකය සකස් කළ යුතු බවටයි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය මත යෝජනාවක් සම්මත කරගෙන ඇත්තේ.

පසුගිය පළාත් සභා සැසි වාරය පැවැත්වු අවස්ථාවේදී පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් විසින් පළාත් සභාව වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබු අතර, පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් ඊට එකගතාවය පළ කළා.

පළාත් සභා සභාපතිවරයා යෝජනාව ඉදිරිපත් කරමින් පැවසූවේ දිලීපන් මියගිය ස්ථානය මේ වන විට විනාශ වෙමින් පවතින බවයි.

ඉන්දියානු හමුදාවන් මෙරටට පැමිණ මෙහෙයුම් සිදුකළ අවස්ථාවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පසුබැසීමකට ලක්වු අවස්ථාවේ අදාළ කාරණය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ඉන්දීය රජය අතර සාකච්ජාවක් පැවැත්විය යුතු බවට ඉල්ලීම් කරමින් දිලීපන් උපවාසයක් ආරම්භ කරනු ලැබුවා.

දිලීපන් ආහාර හා ජලය ලබා නොගෙන 1987 සැප්තැම්බර් 15 වැනිදා උපවාසය ආරම්භ කළ අතර, සිය ඉල්ලීමට පිළිතුරු නොලැබුණ බැවින් නිරාහාරව සිටීම හේතුවෙන් දිලීපන් 1987 සැප්තැම්බර් 26 වැනිදා ජිවිතක්ෂයට පත්වුණා.

1963 නොවැම්බර් 29 වැනිදා යාපනය ඌරලි ප‍්‍රදේශයේ උපතලද දිලීපන් යාපනය හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා යාපනය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටින අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන නායකයා වශයෙන් එක්ව තිබෙනවා.

සංවිධානය වෙනුවෙන් දිවිදුන් දිලීපන් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ  ලුතිනන් කර්නල් නිලයක්ද හිමිව තිබුණා.


gossip lanka