gossip lanka

චන්දිමාල් නැත්තේ ඇයි? මැතිව්ස් කතා කරයි

වසර දෙකකට පසුව යළිත් ජාත්‍යන්තර තරගයක්‌ පැවැත්වෙන මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ගේ වාසියට උචිත ලෙස
සකස්‌වන බවක්‌ දක්‌නට ලැබුණද එය දඟ පන්දු යවන්නන්ටද අපහසුවක්‌ නොවනු ඇත.

මෙහිදී ක්‍රීඩා කිරීම ලොකු සතුටක්‌ බව පවසන ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌, "ලෝකයේ තියෙන ලොකුම ක්‍රීඩාංගණයක්‌. මම ගොඩක්‌ සතුටුයි වසර දෙකකට පසුව මෙහි ක්‍රීඩා කිරීමට ලැබීම ගැන. අපි මේ තරගයේදී කිසිදු වෙනසක්‌ කරන එකක්‌ නැහැ. ජයග්‍රාහී කණ්‌ඩායමම ක්‍රීඩා කරාවි." යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ පෙරවරුවේදී මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේ පුහුණු සැසිය අවසන් කළේද පන්දු රැකීම පිළිබඳව වැඩි උනන්දුවක්‌ දක්‌වමිනි. එහිදී කණ්‌ඩායමේ ක්‍රීඩකයන් දෙපසට බෙදී තනි ඉන්නට පන්දුව විසි කරමින් ජයග්‍රාහී කණ්‌ඩායම තෝරන තරගයකද නිරත විය. "අපි පසුගිය කාලයේ හොඳට පන්දු රැක්‌කෙ නැහැ. දිගින් දිගටම ඒ අංශය අසාර්ථක වුණා. නමුත් අපි හැම පුහුණු සැසියකදීම වැඩිම වේලාවක්‌ යොදවන්නෙ පන්දු රැකීමේ අංශය දියුණු කරගන්න. කණ්‌ඩායමේ ඉන්න හොඳම පන්දු රකින්නන් අතිනුත් උඩපන්දු අතහැරෙනවා. ඇතැම් වෙලාවට පිටිය මැදදී ඔවුන් ස්‌ථානගත කිරීමේදී අපහසුතා එනවා. කොහොම වුණත් ඔය හැම දේම හොඳ උඩපන්දුවක්‌ දෙකක්‌ රැක ගත්තාම මැකිලා යාවි. ඒ වගේම තමයි එක්‌කෙනෙක්‌ අතහැරියාම හරියට වෛරසයක්‌ වගේ මේක පැතිරිලා යනවා" යෑයි මැතිව්ස්‌ ඊයේ මාධ්‍ය හමුවේදී විමසන ලද පැනයකට පිළිතුරු සැපයීය.

කෙසේ වෙතත් ඊයේ පුහුණු සැසියේදී ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වන අයුරක්‌ දක්‌නට ලැබුණු අතර එහිදී මැතිව්ස්‌ විසින් පුහුණුවීම්වලදී පැමිණෙන සියලු උඩපන්දු රැක ගනිමින් තරගයට පදම්වන අයුරක්‌ දක්‌නට ලැබුණි. මීගහජදුර ජලාශ මායිමේ සිට හමන සුළඟ වේග පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන්ට යම් කිසි බාධාවක්‌ වුවද ඒ පිළිබඳව අවධානය යොමු කරමින් තරගයට පිවිසෙන බව ශ්‍රී ලංකා නායකයා පවසයි.

"අපිට අසාර්ථක වෙන වෙලාවේදී නොයෙකුත් කතා කියන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට එළියෙ ඉඳල ඕනෑම දෙයක්‌ කියන්න පුළුවන් කමක්‌ තියෙනවා. නමුත් කණ්‌ඩායමේ කිසිම අර්බුදයක්‌ නැහැ. මට කවුරුවත් මුකුත් කියනව කියල ඇහිලත් නැහැ. මම හැම විටම කණ්‌ඩායමට කියන්නෙ පීඩනය කියන එක අපිට හැම තිස්‌සෙම තියෙන දෙයක්‌. ඒක පාලනය කරගෙන ක්‍රීඩා කරන්න දැන ගන්න ඕන කියලා." යනුවෙන් මැතිව්ස්‌ පසුගිය කාලයේ සිදුවූ වාග් ප්‍රහාර සහ පීඩනය පිළිබඳව විමසන ලදුව පවසා සිටියේය.

කෙසේ වෙතත් පළමු තරඟ දෙක සඳහා නම් නොකෙරෙනු දිනේෂ් චන්දිමාල් ඉදිරි තරඟ වලටද ඇතුළත් නොවන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී විමිසා සිටියහ.ඉකුත් 2016 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු රැස්කරන ලද පිතිකරුවා බවට පත්වූ දිනේෂ් චන්දිමාල් පත් වුවද, නිරන්තරයෙන් ආසාර්ථක චාමර කපුගෙදර දිගින් දිගටම කණ්ඩායමට ඇතුළත් කරන්නේ මන්දැයි මෙහිදී විමසූහ.

 "අපිට මැද පෙළ පිතිකරුවකුගේ තමයි අඩුවක්‌ තිබුණේ. ඒ නිසා තමයි කපුගෙදරව ගෙනාවේ. චන්දිමාල් ක්‍රීඩා කරන්නෙ අංක හතර ස්‌ථානයේ. දැන් උපුල් තරංග අංක හතර ක්‍රීඩා කරනවා. උපුල් ඕනෑම තැනක පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක්‌. කොහොම වුණත් අවසන් තීරණය තේරීම් කමිටුව අතේ තියෙන්නෙ." යනුවෙන් පැවසීය.

ගාල්ලේදී පැවැති පළමු තරගයේ ජය සිම්බාබ්වේ උදුරා ගනිද්දී දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාව ලබා ගැනීම හේතුවෙන් ඉතිරි තරග දෙකටද සංයුතියේ වෙනසක්‌ සිදු නොකිරීමට තේරීම් කමිටුව කල්පනා කළ බවත් එහිදී නුවන් කුලසේකර, ළහිරු කුමාර සහ චාමර කපුගෙදර කණ්‌ඩායමට පැමිණෙද්දී ළහිරු මධුෂංක සහ අමිල අපොන්සු සංචිතයෙන් එළියට ගිය බවත් ශ්‍රී ලංකා නායකයා පවසයි. 'දවස්‌ පහක්‌ තුළදී තරග තුනක්‌ ක්‍රීඩා කරන්න තියෙන නිසා වේග පන්දු යවන්නන්ට තමයි වැඩියෙන්ම මහන්සිය දැනෙන්නේ. ඒ නිසා වේග පන්දු යවන්නන් දෙදෙනෙක්‌ කණ්‌ඩායමට එක්‌ කළා. එක පිතිකරුවෙකු අතිරේකව කණ්‌ඩායමට ඇතුළත් කළේ හම්බන්තොට තරගයකට හදිස්‌සියේ හෝ ක්‍රීඩකයකුව ගෙන්න ගන්න වුණොත් වෙලා යන නිසා.




gossip lanka