gossip lanka

දූෂණයෙන් තොර රටක් බිහිකිරීම රජයේ අරමුණයි - මංගල

කළු සල්ලි සුදු කිරීම වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපැයීම නැවැත්වීම ඇතුළු සියලු ආකාරයේ දූෂණයන්ගෙන් තොර රටක් බිහි කිරීම රජයේ අරමුණ යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ
විසිවන වාර්ෂික සමුළුව ඊයේ (17) උදේ කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ කළ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් මංගල සමරවීර මහතා එසේ කීය.

වංචාව, දූෂණය ඉහවහා ගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසුකර ආ අප මෙරටින් සියලු ආකාරයේ දූෂණයන් බැහැර කිරීම දක්වා වූ අභීත ගමනක් යා යුතුම වෙනවා යැයි පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

''ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව ඉදිරියට ගෙන යන සම්මුතිවාදී ජාතික රජය බලයට පැමිණීමෙන් රටේ දූෂණයට, වංචාවට තිත තැබීම සිදු කළා. ඉතා අභියෝගාත්මක යුගයක් අප පසු කළා.

අපට දැන් කළු සල්ලි සුදු කිරීම වැළැක්වීම, අවි ආයුධ ගනුදෙනු හා ත්‍රස්තවාදයට මුදල් ලැබීම්ම වැළැක්වීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් ඉපැයීම් වැළැක්වීමට අදාළව කටයුතු කළ යුතුව තිබෙනවා.

මේ සියලු ආකාරයේ දූෂණ වලින් තොර බිමක් බවට පත් කරන තුරු මේ ගමන් මගේ අප ගමන් කළ යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය උදව්ව අපට රටක් ලෙස ලැබිය යුතුමයි. ඔබේ උදව් මත අපට වඩාත් යුක්තිගරුක, විනයගරුක රටක් බිහි කර ගන්නට හැකි වෙනවා.

ශ්‍රී ලංකාව මේ කණ්ඩායම් සමුවවේ සම සභාපති ධුරයට පත්වීම පිළිබඳව අපට විශාල සතුටක් තිබෙන්නේ. අපේ මේ සියලු ශක්තීන් යොදා වඩාත් යුක්තිගරුක, විනයගරුක දියුණු රටක් බිහි කිරීමට කටයුතු කරන්න ඕනෑ.''

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මූල්‍ය කාර්යසාධන බළකායේ විධායක ලේකම් ඩේවිඩ් ලීවිස්, ආසියා ශාන්තිකර කලාපීය මූල්‍ය විශුද්ධිකරණ කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ගෝර්ඩන් හොක්, සම සභාපති ලීන්නී ක්ලෝස්, සම සභාපති ආචාර්ය එච්. අමරතුංග යන මහත්වරු මූලාසනය දැරූ මෙම සමුළුව අභිමානවත්ව පැවැත්විණි.

මෙම අවස්ථාවට නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආාර්.එච්. එස්. සමරතුංග, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පපූජිත ජයසුන්දර, ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් පාලන කොමිසමේ සභාපති තිලක් කරුණාරත්න, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, පී. සමරසිරි, කේ.ඩී. රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු නීති, මූල්‍ය, ආරක්ෂක අංශ ප්‍රධානීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




gossip lanka