gossip lanka

කයිල් ලක් පිහිනුම් ඉතිහාය වෙනස් කරයි !

බහමාස් හී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර තරගය තත්පර 50. 93 කින් නිම කළ කයිල් අබේසිංහ රිදී පදක්කමක් දිනා ගත්තේය. 

ශ්‍රී ලාංකේය පිහිනුම් ක්‍රීඩා ඉතිහාසයේදී එදා මෙදාතුර ජාත්‍යන්තර තලයේ දිනාගත් ඉහළම සම්මානය ලෙස මේ ජයග්‍රහණය ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකාව මෙතෙක් දිනා තිබුණේ ආසියානු මට්ටමේ හා දකුණු ආසියානු මට්ටමේ පිහිනුම් ජයග්‍රහණ පමණක් වුවද කයිල් අබේසිංහ එය ඉක්මවා යෑමට සමත්වීම විශේෂත්වයකි.

බහමාස් බෙටී කෙලී කෙනින් ජාතික පිහිනුම් සංකීර්ණයේ (Betty Kelly-Kenning National Swim Complex) ඊයේ (21) පැවැති මේ ඉසව්වේ රන් පදක්කම ස්කොට්ලන්තයේ ස්කෝට් ඇලෙක්ස් තත්පර
50.46කින් දිනාගත් අතර ලෝකඩ පදක්කම හිමිවූයේ තත්පර 51.10කින් එම ඉසව්ව නිමා කළ සිංගප්පුරුවේ ජොනතන් ටෑනිටය.

දාහත් හැවිරිදි කයිල් අබේසිංහ පිහිනුම් ශූර මැතිව් අබේසිංහගේ සොහොයුරා මෙන්ම පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතාගේ පුත්‍රයාය.

ඔහු මේ ඉසව්වේ මූලික වටය තත්පර 51.30 කින් නිමකොට ක්‍රීඩකයන් 35කින් සිවුවැනි ස්ථානයට පත්වී අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් කඩ ඉමේදී ආරම්භය ඉතා හොඳින් ලබාගත් හෙයින් අනෙකුත් ක්‍රීඩකයන්ට තර්ජනයක් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමේ හැකියාව කයිල් අබේසිංහට ලැබුණි.

කොළඹ වර්චලී (Wycherley) ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන කයිල් අබේසිංහ කිලර් වෝල් (Killer Whale) ජල ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකි.

පසුගිය වසරේ ඉන්දියාවේ ගුවහාතී හී නිමාව දුටු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටද ඔහු සමත් විය.

ඔහුගේ පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතා බහමාස් පිහිනුම් සංකීර්ණයේ රැදී සිට අවසන් මොහොත දක්වාම ක්‍රීඩකයාට උපදෙස් දුන් අතර, තරගයෙන් අනතුරුව ඔහු පැවැසූවේ මේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කයිල්ට අවස්ථාව තිබුණද එය ගිලිහී යෑම කනගාටුවට කරුණක් බවයි.

දයාසිරි නොයින්න පදක්කමත් අහිමිවෙන්න තිබුණා

“මේ තරගයට මා පැමිණෙන්න නොවෙයි සිටියේ. ජල ක්‍රීඩා සංගමය මා නම්කොට තිබුණේ නෑ. නමුත් ක්‍රීඩා ඇමැතිතුමා මේ බව දැනගෙන මට කීවා වහාම බහමාස් ගිහින් ක්‍රීඩකයන් බලා ගන්න කියලා. ඇත්තටම දයාසිරි ඇමැතිතුමා එසේ නොකළා නම් ශ්‍රී ලංකාවට මේ රිදී පදක්කම නැති වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඇමැතිතුමාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර හා අමාත්‍යාංශ ලේකම් දිසානායක යන මහත්වරුන්ට විශේෂ ස්තූතියක් කළ යුතුයි. ක්‍රීඩකයකුගෙන් උපරිම දස්කම් ගන්න පුහුණුකරු අවසන් මොහොත දක්වාම ළඟ සිටීම වැදගත් බව ජල ක්‍රීඩා සංගමය දන්නේ නැති වුණාට අමාත්‍යාංශය දන්නවා” අබේසිංහ මහතා පැවැසීය.

මේ අතර මීටර් 50 පසුපස ආර අවසන් තරගය තත්පර 26.78කින් නිමකළ අකලංක පීරිස් 5වැනි ස්ථානයට පත්වූ අතර ගතකළ කාලය එම ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද විය. මෙයට පෙර මැතිව් අබේසිංහ තත්පර 24. 93කින් තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව අකලංක පීරීස් බහමාස්වලදී බිඳ හෙලනු ලැබීය.

සත් සාමාජික රගර් පිල බහමාස් සමග පැවැති තරගයේදී ලකුණු 76-0ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් අද පැවැත්වෙන ශ්‍රේණිගත කිරීමේ තරගයට එක්වීමට නියමිය. කිලොග්‍රෑම් 46-49 ලයිට් ෆලයි බර පන්තියේ බොක්සිං තරගයේදී කාවින්ද සංජය වේල්ස් ක්‍රීඩකයා හමුවේ 3-2ක් ලෙස පරාජයට පත්වුවද ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළේය. ඊයේ පැවැති මීටර් 100 අවසන් පූර්ව වටයේදී සචිනි තාරකා දිව්‍යාංජලී තත්පර 12. 70කින් 19වැනි ස්ථානයට පත්වූ අතර මීටර් 400 මූලික වටය තත්පර 58.43කින් නිමකළ සඳුමිණි චවිප්‍රභාවී 17වැනි ස්ථානයට පත් විය.

ටෙනිස් දෙවැනි වටයේදී අනීකා සෙනවිරත්න විසින් බහමාස් ක්‍රීඩිකා ඉසබේල් ඩොනල්ඩ් තරග වට 2-0කින් පරාජය කොට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය. ඇය අර්ධ අවසන් පූර්ව වටයේදී සයිප්‍රසයේ එලිසා ඔමිරියෝ සමග අද දින සටනට පිවිසේ. ටෙනිස් දෙවැනි වටයේදී විභූද විජේබණ්ඩාර තරග වට 2-0කින් වේල්සයේ ජේම්ස් ස්ටෝරීට පරාජය විය. වේල්ස් ක්‍රීඩකයා ලෝක කනිෂ්ඨ ක්‍රීඩකයන් ශ්‍රෙණිගත කිරීමේ 5වැනි ස්ථානයේ සිටි අයෙකි.


gossip lanka