gossip lanka

ඥාණසාර හිමි ගිය ගමනම ගම්මන්පිලත් යයි..

පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ ඕනෑගම ප්‍රදේශයේ මේ වන විට සිදුකෙරෙන පුරාවස්තු විනාශය සහ වන සංහාරය පිලිබඳ සොයා බැලීමට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් පිරිසක් 07/23 එම ප්‍රදේශයට පැමිණියේය.

එහිදී පුරාවිද්‍යා භූමිය තුළ නීති විරෝධි අන්දමින් පවත්වාගෙන යනු ලබන
ගවගාල් මෙන්ම ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන නීති විරෝධීව එළිපෙහෙළි කර මහා පරිමාණයෙන් සිදු කරගෙන යන වගාවන්ද පැමිණි පිරිස විසින් නිරීක්ෂණය කරන ලදී .

එමෙන්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී විනාශවී ගිය ඉපැරණි දැගැබ් සහ තවත් පුරාවස්තු ගණනාවක් ද මෙහිදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිසේ අවධානයට ලක්විය.

මෙහිදී පැමිණසිටි මාධ්‍ය වේදීන් ඇමතූ නීතිඥ උදය ගම්මන්පිල මහතා –

අපි ජාතික ජල ගැලුම් නිම්න වනෝද්‍යානයට ආවේ හඬක් නැගිය නොහැකි ගස් වැල් වල හඬ නැතිනම් මාධ්‍ය ප්‍රකාෂක බවට පත්වෙන්නයි. වෘතීය සමිති නැති වන සතුනගේ වෘතීය සමිතිය බවට පත්වෙන්නයි. ඔවුන්ට සිදුවී ඇති මේ මහ විනාශය ලොවටම කියා පාන්නයි.

මෙම උද්‍යානය හෙක්ටයාර 17 350 පමණ වෙනවා. මේවන විට බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා හෙක්ටයාර 1000ක පමණ ප්‍රදේශයක කුඹුක් පළු වීර වැනි ඉතා වටිනා දැවැන්ත ශාක කපා කොටා විනාශ කොට තිබෙනවා. ගිණි තබා තිබෙනවා. මේ ප්‍රදේශ වාසීන් කියන විදිහට පරිසර වේදීන් කියන විදිහට මේ වනයේ කුඹුක් ප්‍රභේද පමණක් දහයකට වැඩියෙන් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට ආවේනික කුඹුක් සම්බන්ධයෙන් තිබෙන එකම රක්ෂිතය බවටත් මේ රක්ෂිතය පත්වෙනවා.

අපි අද මෙතනට පැමිණෙන විට අපි දැක්කා කැළය ගිණිතියලා මහා ගස් වැල් කපා දමලා. එක පැත්තකින් දැව ජාවාරම සිදු වෙනවා. අනික් පැත්තෙන් මේ රක්ෂිතය මැද කැළවල් කපලා ඩෝසර් කරලා ඇල මාර්ග ආදිය තනලා කුඹුරු හදලා ගොවිතැන් කරනවා. මේ හේතුවෙන් ඇතිවන වන සතුන්ගේ අහාර හිගය නිසා වල් අලින් අද ගම් වදින්න පටන් අරගෙන. මේ ප්‍රදේශයේ විතරක් අලි පහරදීම් වලින් පස් දෙනෙක් මිය ගිහින් තියෙනවා. තව විශාල වගා හාණියක් වන සතුන් නිසා ඇතිවී තිබෙනවා. අහිංසකව තමන්ට නිත්‍යානුකූලව හිමි ඉඩමේ වගා කල ගොවි ජනතාවට මින් විශාල හානියක් මේ අන්දමින් සිදුවී තිබෙනවා. එමෙන්ම කැළය මැද සිදුකෙරෙන මේ වී වගාවට යොදන කෘෂිරසායන හේතු කොටගෙන මේ කැළයම අද විශ වෙලයි තියෙන්නේ.  එය මේ කැළයේ ජීවත්වන වන සතුනට බලවත් තර්ජනයක්.

සමහරුන් අපිට චෝදනා කරනවා අපි ජාතිවාදය අවුස්සන්න උත්සහා කරනවා කියලා.මෙතන ජාතිවාදයක් නැහැ. අපි කතා කරන්නේ වසර 1500 නිරුපද්‍රිතව මිහිපිට තිබිලා නීතිවිරෝධී මිනිස් ක්‍රියාකාරකම් තුලින් හදිසියේ අතුරුදහන් වෙමින් පවතින ජාතික උරුමයන් වෙච්ච චෛත්‍ය ටැම් විහාර  පිළිබදවයි. ගහ කොළ සතා සිව්පාවා ඇතුළු අපේ පාරසරික උරුමය ගැනයි. මුස්ලිම්ද සිංහලද නැතිනම් දෙමළද කියන එක නෙමේ වැදගත් වෙන්නේ කවුද නීතිය කඩන්නේ කවුද වනය විනාශ කරන්නේ කවුද මේ උරුමය විනාශකරන්නේ කියන එකයි වැදගත්. ජාති ආගම් භේදය පසක තබා නීතිය ක්‍රියාත්මක කරණ බලධාරීන් එයට එරෙහිව ක්‍රියා මාර්ග ගත යුතුයි.

මේ සම්බන්ධයෙන් අපි සතුටු විය යුතු ලිපියකුත් අපි දැක්කා. මුත්තුර් මුස්ලිම් සුළු ගොවි සංවිධානය 2007.10.01 දින පොළොන්නරුව නව නගරයේ වන ජීවී කාර්යාලයේ කළමණාකාරතුමන්ට ලිපියකින් දන්වනවා වන රක්ෂිතයේ විනාශයක් සිදු කෙරෙමින් පවතිනවා. මේක අපිට බලා ඉන්න බෑ. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඔවුන් අනවසර ලෙස ගොඩකිරීම් කරන පුද්ගලයන්ගේ නම් 16 මේ ලිපියෙන් හෙළි කරනවා. වසර 10 ක කාලයක් ගත වෙලත් අද වෙන තුරු නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබෙනවා. සමහර නිලධාරීන් නම් අපිට කිව්වේ අපිත් කැමති නීතිය ක්‍රියාත්මක කරන්නට. නමුත් දේශපාලන බලධාරීන්ගේ බලපෑම් නොවුනානම් අපි මේ වන විටත් නීතිය ක්‍රියාත්මක කරලා කියලයි. ඒ විතරක් නෙමෙයි අනවසර ඉදිකිරීම් කරපු අනවසර වගාවන් කරපු පස් කපපු පුද්ගලයන් සියයකට අධික ප්‍රමාණයකට මේ වන විට වන ජීවී දෙපාර්තමෙන්තුව නඩු දමා තිබුනත් ඔවුන්ට ඒ නඩු ඉවත් කර ගැනීම සඳහා දේශපාලන බලපෑම් සිදුවෙමින් තිබෙනවා. ඔවුන්ට ඡන්ද ගොඩ ලොකු උනාට අපිට අපේ පාරිසරික උරුමය ඊට වඩා ලොකුයි.

ඡන්ද ගොඩක් ගැන හිතලා වසර දහස් ගණනක උරුමයන් විනාශ කරන්නට ඉඩ දී දේශපාලකයන් බලා සිටීනම් ඔවුන් දේශපාලකයන් නොවෙයි. දේශපාළුවන්ම තමයි.

මෙහිදී මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිලිතුරු දුන් මන්ත්‍රීවරයා

ප්‍රශ්නය – මේ ජල ගැලුම් නිම්නයේ ඉඩම් බෙදා දීමට සුදානම් වෙන බවට ආරංචි පැතිර යනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය කුමක්ද?

පිළිතුර – හිතයි පපුවයි ඔළුවයි නැති අයට විතරයි එවැනි දෙයක් තීරණය කෙරෙන සාකච්ඡා මේසයකට වාඩිවෙන්න හරි පුළුවන්. අපේ රටේ වනාන්තර අද ඇත්තේ 31% පමණයි. ඉන් රක්ෂිත ඇත්තේ 29%යි.  ඒවා ඇතුලෙත් ඉඩම් බෙදා දීමට කටයුතු කරනවනම් මේ රටේ දේශපාළුවන් මොනතරම් මෝඩද ? අමනද? අපේ රටේ උරුමය ගැන සංවේදී නැද්ද කියන ප්‍රශ්නය අපට මතුවෙනවා. ඒ වගේම එවැනි තත්වයක් වලකා ගන්න අපට ගත හැකි සෑම උත්සහයක්ම අරගන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබතුමා ඥාණසාර හිමියන් මේ ස්ථානය පැමිණීමෙන් පසු ඇතිවු ගැටළු කාරී තත්වය කොහොමද දකින්නේ

පිළිතුර – ඇත්තටම ඥාණසාර හිමියන් එදා මෙහි ඇවිත් මේ සිදුකරන පුරාවස්තු විනාශය සහ වන විනාශය දැකලා ඒ පිළිබඳ මාධ්‍යයට කරුණු දැක්වුවා නමුත් ඥාණසාර හිමියන්ගේ කටින් පිටවුණු වචන දෙකක් පදනම් කරගෙන ඒ වචන දෙක ගැන රටේ සංවාදයක් ඇතිවුනා මිස මේ මහා පුරාවස්තු මංකොල්ලය පාරසරික විනාශය ගැන රටේ කිසිම සංවාදයක් ඇතිවුනේ නෑ. ඒ නිසා ඉතාම සංවරව බොහොම කල්පනාවෙන් වචන තෝරා බේරාගෙන කතා කරලා මේ පණිවිඩය රටට කියන්න අපි තීරණය කලේ අදින් පසුවවත් මේ පිළිබඳව රටේ බලධාරීන්ගේ ඇස් ඇරිලා, රටේ සංවාදයක් ඇතිවෙලා, වගකිව යුත්තන්ගේ අවධානය මේ පිළිබඳව යොමු කරගන්න අපිට හැකිවේවා කියන බලාපොරොත්තුව මතයි.

ඒ වගේම මේ ගමන තවත් එක් ගමනක් නොවෙයි. අළුත් ගමනක ආරම්භය විතරයි. මේ සටන ජයග්‍රහණයෙන් කෙළවර කරන තුරු මේ වෙනුවෙන් පෙනී සිටින අපේ මේ ස්වාමීන් වහන්සේලා, තරුණ පිරිස් වල ධෛර්ය අධිෂ්ඨානය අපි අගය කරනවා. ඔවුන් නොසිටින්න මේ මහ වනාන්තරයම අද කාන්තාරයක් වෙන්නට තිබුණා. ඔවුන්ට අපේ ප්‍රණාමය පුද කරනවා. මේ සටනේදී අපි ඔවුන්ට ශක්තියක් වෙනවා අපි ඔවුන්ව ආරක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව වනජීවී අමාත්‍ය වරයාගෙනුත් , පුරා විද්‍යා කටයුතු අමාත්‍ය වරයාගෙනුත් ඒ වගේම පරිසර අමාත්‍ය ධුරය දරන අතිගරු ජනාධිපතිතුමන්ගෙනුත් ඔබේ ගමේ මෙවන් දෙයක් සිදුවෙන බව තවම දන්නේ නැතිද, නැතිනම් ඔබතුමාටත් අවාසියා කර්ණාබාධා වැනි රෝගයක් වැළදී ඇත්ද කියලා එතුමන්ගෙනුත් ප්‍රශ්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවගෙන් අපි ඉල්ලන එකම දේ ඔබ පරිසරය රකින්න. අපි ඔබව රකිනවා.

මේ අවස්ථාව සඳහා පොළොන්නරුව ඕනෑගම මැදමළුව විහාරවාසී නිකපේ චන්දිම හිමියන් ප්‍රදේශ වාසීන් සහ පරිසර ක්‍රියාකාරීන් රැසක්ද සහභාගි වූහ.

– අරවින්ද අතුකෝරල


gossip lanka