gossip lanka

ලංකාව අද අසීරු අභියෝගයක

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල අද (03) දකුණු අප්‍රිකාව සමඟ සිය පළමු තරගයට ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී සහභාගිවීමට නියමිතය.  (තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය)

පිතිකරුවන් 5ක්, වේග 3ක්, දඟපන්දු 1ක්

පිතිකරුවන් 5 ක්, තුන්ඉරියව් ක්‍රීඩකයන් 3 ක්, වේගපන්දු යවන්නන් 2 ක් සහ දඟපන්දු යවන්නකු අද තරගයේදී ශ්‍රී ලංකා පිලට එක් කිරීමේ අදහසක් ඇතැයි එංගලන්තයෙන් වාර්තා වේ.
මේ තරගයට ශ්‍රී ලංකාව එක්වන්නේ සිය නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් ද නොමැතිවය. ඔහු මෙසේ ආබාධයට ලක්වන්නේ පසුගිය ජනවාරි මාසයේ සිටය. මැතිව්ස් නැති ශ්‍රී ලංකා පිලට උපුල් තරංග නායකත්වය සැපයීමට නියමිතය.

ලංකාව මේ තරගාවලියිට එක් වූයේ ශූරයන්ගේ කුසලානයට අතපොවන මායිමකවත් නැති කණ්ඩායමක් ලෙස ලේබල්ගත වෙමින්වීම ද විශේෂ සිද්ධියකි.

දකුණු අප්‍රිකාව එක්දින පිටියේ එක

මෑත කාලයේ අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්ව සිටින ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් පවා පහතට ඇදවැටී සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරග 15 න් තරග 9 ක්ම පරාජය වී තිබේ. තරග 4 ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග දෙකක් විසඳුමකින් තොරව නිමාවී ඇත.

මේ වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 හිමිකරගෙන සිටින දකුණු අප්‍රිකානු පිල ඔවුන් සහභාගිවූ අවසන් එක්දින තරග 15න් තරග 11 ක් ජයගෙන තරග 4 ක් පමණක් පරාජය වී තිබේ.  2016 ජූනි 24 වැනිදා සිට 2017 පෙබරවාරි 19 වැනිදා දක්වා සහභාගි වූ එක්දින තරග 13 ම එක දිගට ජයගෙන තිබේ. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව හමුවේ ලබාගත් 5-0 තරගාවලි ජයග්‍රහණ දෙකක්ද දකුණු අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණ 13 ජයමාලයට ඇතුළත් වේ.

මාලිංගගේ පැමිණීම අස්වැසිල්ලක්

ශ්‍රී ලංකා පිලේ නොම්මර එකේ වේගපන්දු තුරුම්පුව ලෙස මේ තරගාවලියට ලසිත් මාලිංග සහභාගිවීමත් ඔහු කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයකුවීමත් ලංකාවට තරමක අස්වැසිල්ලකි. කෙසේවුද දණහිසේ ආබාධයක් නිසා 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කර නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මඳ අස්වැසිල්ලකට හේතු වන තවත් කාරණාවක් වන්නේ කලක් ක්‍රිකට් පිටියේ සුදු විදුලි සැරය නමින් හඳුන්වනු ලැබූ දකුණු අප්‍රිකානු පිලේ හිටපු ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ඇලන් ඩොනල්ඞ් ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන්ගේ උපදේශකවරයා ලෙස පත්වී සිටීමයි. දකුණු අප්‍රිකානුවන්ට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්වීමට මේ වේගපන්දු යවන්නා කලකට ඉහතදී දැක්වූ දස්කම් බෙහෙවින් ඉවහල් වී තිබිණි. දකුණු අප්‍රිකානුවන්ගේ වේගපන්දු බලඈණියේ උපක්‍රම හා හැකියා පරාසයේ දිගපළල ගැන කදිම අවබෝධයක් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට ඩොනල්ඩ්ගෙන් ලැබෙනු ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ හැකියාව පමණක් නොව ඔවුන්ගේ මානසික සූදානම ගැනත්, ඔවුන් විවිධ අවස්ථාවලදී පිටියේ ක්‍රියා කරන ආකාරය ගැනත් පැහැදිලි චිත්‍රයක් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ලබාගත හැකිය.

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග පුහුණු තරග දෙකකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරග 2 කින්ම පරාජය අත්විඳීමට සිදුවූයේ පළමුව පන්දුවට පහරදී ලකුණු 300 න් ඔබ්බට ඉනිම ගොඩනැගීමෙනුත් පසුවය. මේ ලකුණු සංඛ්‍යාව රැක ගැනීමට පන්දු යවන්නන්ගෙන් නිසි සහයෝගයක් නොලැබිණි. අද තරගයේදි ඩොනල්ඞ්ගේ ඊට පිළියම් යෙදීමට ද සිදුවනු ඇත.

දෙපිල අවසන් වරට එක්දින තරග බිමේදී මුණගැසුණේ පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේදීය. එවර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 5-0කින් එහෙම පිටින්ම සුද්ද කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්

දකුණු අප්‍රිකා කණ්ඩායම:
ඒ. බී. ඩිවිලියස් (නායක), හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඩීන්, ක්වින්ටින් ඩි’කොක්, ජේ.පී.ඩුමිනි, ෆෆ් ඩුප්ලෙසි, ඉම්රාන් තහීර්, කේෂව් මහරාජ්, ඬේවිඩ් මිලර්, මෝර්න් මෝකල්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රේටෝරියස්, කගිසෝ රබාඩා
gossip lanka