gossip lanka

ගීතාගේ නඩුවට හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙයි

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය හෙබවීම නුසුදුසු බව කියමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සමක් ලබන ජූලි මස 07 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23) තීන්දු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති අතුරු නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් පියසේන ගමගේ මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.


අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ  මෙම පෙත්සම  කැඳවූ අතර එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා එදිනට කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කරන ලදී.

හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ගොනු කළ අතරමැදි පෙත්සමේ මෙසේද සඳහන් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු ලෙස තමා වසර ගණනාවක් කටයුතු කළ බවත්,ඒ වසර ගණනාව තුළ පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයන් යටතේ අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ බවත් පෙත්සම්කරු කියා සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 අගෝස්තු 17 වැනිදා පැවති මහමැතිවරණයට ඉදිරිපත්ව මනාප 47,248ක් ලබා සන්ධාන ලැයිස්තුවේ හත්වැනි ස්ථානයට පත්වූ බව පෙත්සමේ සඳහන් වේ.මන්ත‍්‍රී ආසන ධූර 6ක් පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා තමන්ට එම වසරේදී පාර්ලිමේන්තු යෑමට වරම් අහිමි වූ බවද එහි වැඩිදුරටත් සඳහන්ව කර ඇත.
අදාළ නඩු තීන්දුව ප‍්‍රකාශ වීමෙන් පසුව කුමාරසිංහ මහත්මිය ගෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රී ධූරය සඳහා ඊළඟට පත්වීමට සිටින්නේ තමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා තමාට දැන්වූ බවත් ඒ ගැන තමන් අපේක්ෂාවෙන් සිටි බවද පෙත්සම්කරු කියා සිටී.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව ක‍්‍රියාත්මකවීම අත්හිටුවීම නිසා තමන්ට එම අවස්ථාව අහිමි වන අතරම ඉන් තමාට විශාල අගතියක් සිදුවන බව පෙත්සම්කරු කියා සිටී

එබැවින් එම අභියාචන පෙත්සමට මැදිහත්වී කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙසත් පෙත්සමෙහි වගඋත්තරකාර පාර්ශවයක් ලෙස තමන් නම් කිරීමට නියෝග කරන ලෙසත් ද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

 ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

gossip lanka