gossip lanka

ගොඩින් නැතුව ඇළෙන් යන්න චම්පික හදන සැලසුම මෙන්න

කොළඹ අගනගරය අශ්‍රිතව ඇති ඇළ මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් යාත්‍රා (Rerry) සේවයක් හඳුන්වාදීමට බස්නාහිර හා මහ නගර අමාත්‍යංශය සූදානම් වේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම නියෝජනය හරහා මගී ජනතාවට ප්‍රවාහන සේවා ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ සඳහා සේවා සැපයීමට කැමැත්තක් දක්වන පාර්ශව වෙතින් ටෙන්ඩර් කැඳවීම ආරම්භ කාර ඇති බවයි.


මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් වැල්ලවත්ත සහ බත්තරමුල්ල අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවයක් 2018 වර්ෂයේදී ආරම්භ කිරීමට යෝජිතය. නෙදර්ලන්ත රජයේ තාක්‍ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රවාහන සේවාව සඳහා එක්වීමට දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ටද අවස්ථාව ලබාදී ඇත.

කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදයට විසඳුමක් ලෙස හඳුවාදෙන මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවය වෙනුවෙන් වූ ප්‍රධානම සම්බන්ධීකරණ ආයතනය වශයෙන් කටයුතු කරනුයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. කොළඹ නගරය ආශ්‍රිතව කොළඹ කොටුව සිට බේරේ වැව ඔස්සේ යුනියන් පෙදෙස දක්වාද මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාද කොළඹින් පිටත සේවය කැළණි ගඟ ඔස්සේද දෙවැනි අදියරේදී ආරම්භ කිරීමට යෝජිතය.

පළමු අදියරේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කෙරෙන යාත්‍රා සේවය ඔස්සේ සාගර මාවත (මැරයින් ඩ්‍රයිව්), ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර සම්බන්ධ කෙරෙනු ඇත. දෙවැනි අදියරේ බේරේ වැව ඔස්සේ කොළඹ වාණිජ මධ්‍යස්ථාන බොහොමයක් සම්බන්ධ කෙරේ.
gossip lanka