gossip lanka

අවදියෙන් සිටින්න රුපියල් 5000 හොර නෝට්ටු ලක්ෂ 20ක රට පුරා

මතුගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් පන්දහසේ හොර නෝට්ටු 139ක් සමග සැකකරුවන් පස් දෙනකු රුපියල් ලක්ෂ විස්සක් වටිනා පන්දහසේ හොර නෝට්ටු දිවයින පුරා බෙදාහැර ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය සහ රහස් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

මතුගම ප්‍රදේශයේ පදිංචි හිටපපු යුද හමුදා භටයකුද සැකකරුවන් අතර සිටින අතර රුපියල් ලක්ෂයක් වටිනා ව්‍යාජ හොර නෝට්ටු මාරුකර දෙන පුද්ගලයාට රුපියල් පහළොස් දහසක කොමිස් මුදලක් ලැබෙන බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු ජාවාරම කරන පුද්ගලයන් පසුගිය දිනවල දකුණු ප්‍රදේශය තුළදී ගැවසී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

දොඩන්ගොඩ ප්‍රදේශයේ නිවෙසක සගවා තිබූ රුපියල් ලක්ෂ හතක් වටිනා ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 139ක් සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටුවක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළ හිටපු හමුදා සෙබළා මතුගම තානායමෙන් මත්පැන් ලබාගැනීම සදහා ව්‍යාජ රුපියල් පන් දහසේ නෝට්ටුව එහි අයකැමිට හසුවීමෙන් පසු ඒ පිළිබදව මතුගම පොලීසියට දැනුම්දී මෙම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

දොඩන්ගොඩ කුරුදුවත්ත ප්‍රදේශයේ නිවෙසක මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සගවා තිබූ අතර එක් සැකකරුවකු වැලිගම ඌරුබොක්ක ප්‍රදේශයේ වන අතර සෙසු සැකකරුවන් දොඩන්ගොඩ සහ මතුගම අවට ප්‍රදේශවල අය බව හදුනාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා රහස් පොලීසියේ ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබද පරීක්ෂණ අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මතුගම ප්‍රදේශයට යවා තිබේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ. පෙරේරා, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මස 31දා රහස් පොලීසියේ ව්‍යාජ මුදල් මගින් රුපියල් 38 ලක්ෂ අනූහතර දහස් හයසීයක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 174ක්ද රුපියල් 2000 ව්‍යාජ නෝට්ටු 46ක්ද රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 2272ක්ද රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 1320ක්ද රුපියල් 100 ව්‍යාජ නෝට්ටු 06ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධීන්වලට අදාළව රහස් පොලීසිය අධිකරණවලට කරුණු වාර්තා කර ඇති අතර, බොහෝ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. දිවයිනේ ඕනෑම තැනක ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබදව තොරතුරු දන්නේ නම් රහස් පොලීසියේ ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපතිගේ දුරකතන අංක 011-2326670 දැනුම් දෙන ලෙස රහස් පොලීසිය මහජනයාගෙන් ඉල්ලීමක්ද කරයි.

මේ අතර රුපියල් පන්දහසේ හා රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවලින් රුපියල් හත් ලක්ෂ එක්දහසක මුදලක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයන් පස්දෙනා ජූලි මස තුන්වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මතුගම වැඩබලන මහේස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා නියෝග කළේය.

gossip lanka